භෞත චිකිත්සකවරියගේ ඝාතනය ගැන තව තොරතුරු එලියට..

 


නුවරඑලිය සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි භෞත චිකිත්සකවරියේ ඝාතනය සම්බන්ධයෙන් නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ (19) දින කරුණු වාර්ථා කල බවත්, සැකකරුට රටින් බැහැරවීම වළක්වාලමින් නියෝගයක්ද ලබා ගත් බව නුවරඑලිය කොට්ඨාශභාර ජේෂඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩර මහතා පැවසීය.

ඝාතනය සම්බන්ධයෙන් අප ජේෂ්ඨ පොලිස් අධිකරිවරයාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ, එම සංචාරක හෝටලයට යුවල පැමිණි සියලුම ආරක්ෂිත කැමරා දර්ශන පොලිස් භාරයට ගෙන ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.

සැකකරු සම්බන්ධ තොරතුරු වෙතොත් ඒ පිලිබදව ළගම ඇති පොලිස් ස්ථානය වෙත හෝ නුවරඑලිය පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ගන්නොරුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ටී.එම්.එස්. දිනෙත් දිසානායක නැමැති මෘදුකාංග ඉංජිනේරුවරයෙකුට වන අතර, ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් නීතියෙන් සැඟවී සිටියි.

පොලිස් විමර්ශනවලට අනුව, සැකකරු විසින් මියගිය දර්ශනී සමඟ සූක්ෂම ලෙස ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගෙන ඇත. තමන් සමඟ කැනඩාවේ ස්ථිර පදිංචිය සඳහා යා හැකි බව පවසා ඇයව දැඩි ලෙස මුලාවේ දමා ඇති සැකකරු, එම ගමනේ වියදම් පියවා ගැනීම සඳහා රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් ඇයගෙන් ලබාගෙන තිබේ. 

සැකකරුගේ වචන විශ්වාස කළ දර්ශනී, පසුගිය ජුනි මස 03 වැනිදා සිය රැකියාවෙන්ද ඉල්ලා අස්වීමේ ලිපිය අම්පාර රෝහල් අධ්‍යක්ෂවරයා වෙත භාර දී ඇත. පසුව ඇය සිය ඥාතීන්ගෙන්, මිතුරන්ගෙන් සහ මූල්‍ය ආයතනවලින් ණයට ගත් ඉහත දැක්වූ මහා පරිමාණ මුදල සැකකරු වෙත ලබා දී ඇති බව හෙළි වී තිබේ.

විදේශගත වීමට පෙර මසක පමණ කාලයක් ගත කිරීම සඳහා සැකකරු විසින් දර්ශනීව නුවරඑළියේ පිහිටි සුපිරි හෝටලයකට කැඳවාගෙන විත් තිබේ. එහිදී ඔවුන් යුවළක් ලෙස කාලය ගත කර ඇති අතර, විදේශ ගමන ප්‍රමාද වීම හේතුවෙන් දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය විය.

පසුගිය 13 වැනිදා දර්ශනී සිය සහෝදරයා අමතා තමන් අසනීපයෙන් පසුවන බව පවසා ඇති අතර, ඉන් අනතුරුව ඇගේ ජංගම දුරකතනය ක්‍රියාවිරහිත වී තිබේ. සහෝදරයා නුවරඑළියට පැමිණ ඇයව සෙවීමට උත්සාහ කළද එය අසාර්ථක වීම හේතුවෙන් ඔහු නුවරඑළිය මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

නුවරඑළිය පොලීසිය විසින් අදාළ හෝටලයේ ආරක්ෂිත කැමරා  දර්ශන පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ, පසුගිය 16 වැනිදා රාත්‍රී 9:45 ත් 10:45 ත් අතර කාලය තුළ සැකකරු විසින් සිහිසුන්ව හෝ මියගොස් සිටි දර්ශනීව වත්තම් කරගෙන අවුත් මෝටර් රථයක ඉදිරිපස අසුනට නංවන අයුරුයි. හෝටල් සේවකයන්ට තම බිරිඳට හදිසි අසනීපයක් යැයි පවසා, සියලු බිල්පත් ගෙවා දමා ඔහු එතැනින් පළා ගොස් තිබේ.

පසුව, පසුගිය 17 වැනිදා සවස තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු අබිරහස් දුරකතන ඇමතුමකට අනුව, තෙල්දෙණිය දිසා රෝහල් රථ ගාලේ තිබූ අගුළු දැමූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඉදිරිපස අසුනේ ආරක්ෂිත පටිය පවා පළඳවා තිබූ දර්ශනීගේ නිසල දේහය සොයාගෙන ඇත. ඇගේ ගෙල සිරකර ඇති බවට මූලික ලකුණු දක්නට ලැබුණු අතර, පොලීසියට අදාළ ඔත්තුව ලබා දී ඇත්තේද සැකකාර පෙම්වතා විසින්ම බව විමර්ශනවලදී තහවුරු වී තිබේ.

දර්ශනීගේ සිරුර ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර් රථය අම්පාරේ පදිංචි වෙනත් කාන්තාවකට අයත් එකකි. ඇයද මෙම මෘදුකාංග ඉංජිනේරුවරයාගේ පැරණි පෙම්වතියක වන අතර, ඇයවද රවටා මුදල් සහ මෙම වාහනය ඔහු විසින් වංචනිකව ලබාගෙන තිබේ.

නුවරඑළියේ හෝටල් කාමරය පරීක්ෂා කිරීමේදී ලේ තැවරුණු ඇඳ ඇතිරිල්ලක් පොලිස් භාරයට ගෙන ඇත. තෙල්දෙණිය දිසා රෝහලේ දිස්ත්‍රික් අධිකරණ විශේෂඥ වෛද්‍ය කේ.බී.යූ.කේ. බණ්ඩාර මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරමින් විවෘත තීන්දුවක් ලබා දී තිබේ. ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා විසින් සිදු කරන ලදී.

අපරාධයෙන් පසු පලාගිය දිනෙත් දිසානායකගේ ජංගම දුරකතන සංඥා අවසන් වරට මාතලේ ප්‍රදේශයෙන් ලැබී ඇති අතර, ඔහු විදේශගත වීම වැළැක්වීම සඳහා කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවල් ද දැනුවත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත තෙල්දෙණිය සහ නුවරඑළිය පොලීසි ඒකාබද්ධව පුළුල් මෙහෙයුමක් දියත් කර තිබේ. සැකකරු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි:

නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී: 071-8591096
මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක: 071-859109

6 Comments

  1. මිනීමරුවා අහු වුනාට පස්සේ පොලිසියෙන් වහාම උට බද කට පුරා මදි නොකියන්න කෑම දෙන්න....ඊට පස්සේ හිරේදී ඉතුරු බුරියානි ටිකත් දෙන්න.

    ReplyDelete
  2. මේ මිනිහා කරපු නරුම ජරා වැඩේට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න ඕනෙ. අනික කාන්තාවොත් දැනගන්න ඕනෙ ලව් කරන්න ගත්තම අන්ධ ලෙස පිරිමියාව විස්වාස නොකිරීමට. කැනඩා යන්න කියලා හොයලා බලන්නේ නැතුව කෝටි ගණන් දෙන්න කලින් හදවතින් නොව මොළයෙනුයි හිතන්න ඕනෙ. ආදරේට මොලේ නැහැ කියලා කියමනකුත් තියෙන්නෙ මේ වගේ අවස්ථාවලට තමයි. අනිත් කාන්තාවන්ටත් හොඳ පාඩම් මේවා.

    ReplyDelete
  3. ඇත්තටම වෛද්‍යවරියක්ද කියලත් හිතෙනවා කරලා තියෙන දේවල් ගැන හිතෙන කොටත්.මෙයාට පවුලක් නැති අවජාතක තරුණියක් ද?මෙහෙම මුලාවකට ලක්වන තූරු ඔය අය්යලා කියන බයියලා විවාහ නොවුන නංගි කෙනෙක් ගැන මොනවද හොයල බලලා තියෙන්නේ? දැන් ඉතින් පවුලම වදූරු කුණුහරුප කියමින් ඉදියි.

    ReplyDelete
    Replies
    1. මෝඩ කතා කියන්න එපා. ඇය කිරි දරුවෙක් නෙවෙයි. වැඩිහිටියෙක්. තාම හන මිටි යුගේ.

      Delete
    2. අදකාලේ ළමයි සහ තරුණ තරුණියන්, නවීන පන්නයේ විදියට හැසිරෙන්න ගියත් ප්‍රශ්ණයක් උනාම හැසිරෙන්නෙ, සියදිවි නසාගන්නෙ, මිනී මරන්නෙ, පෙර පරම්පරාවටත් වඩා ප්‍රාථමික විදියට. අළුත් පරම්පරාව අළුත් ක්‍රමේට ලිබරල් විදියට හැසිරෙනවා නම් ඒනිසා ඇතිවන ප්‍රශ්ණවලටත් මානසිකව නොවැටී ශක්තිමත්ව මුහුණ දෙන්න ඕනෙ. තමන්ගේ ජීවිතය අනතුරට වැටීමට හැකි තීන්දු තීරණ කිසිවක් නොගෙන ඉන්න ඕනෙ. දෙමවුපියන් සහ පවුලේ අය පලි නැහැ වැඩිහිටි දරුවන්ගේ තීරණ වලට.

      Delete
  4. මෙතන මීට වඩා දෙයක් තියෙනවා වගේ. මේ කොටස විශ්වාස කරන්න බෑ. එහෙම කොහොමද සූක්ෂම ලෙස ප්‍රේම සබඳතාවක් ගොඩ නගා ගන්නේ? කවුරු කිව්වත් තමන්ගේ ජොබ් එකෙන් එහෙම අයින් වෙන්නේ කවුද? වීසා, පාස්පෝට් ඔක්කොම රෙඩි නම් අයින් උනානම් අවුලක් නෑ, ඒ මොකක්වත් නැතුව ස්ථීර රැකියාවකින් එහෙම අයින් වෙන්නේ කවුද. අනෙක් එක, හැමෝගෙන්ම ණයට අරගෙන ලව් කරන කොල්ලට කෝටී ගනන් සල්ලි දෙන්නේ කවුද. මට හිතෙන්නේ දෙන්නම හොරා කාලා රට පනින්න ගිහින්, අන්තිමට කොල්ලා කෙල්ලට පොල්ල තියලා වගේ.


    පොලිස් විමර්ශනවලට අනුව, සැකකරු විසින් මියගිය දර්ශනී සමඟ සූක්ෂම ලෙස ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගෙන ඇත. තමන් සමඟ කැනඩාවේ ස්ථිර පදිංචිය සඳහා යා හැකි බව පවසා ඇයව දැඩි ලෙස මුලාවේ දමා ඇති සැකකරු, එම ගමනේ වියදම් පියවා ගැනීම සඳහා රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් ඇයගෙන් ලබාගෙන තිබේ.

    සැකකරුගේ වචන විශ්වාස කළ දර්ශනී, පසුගිය ජුනි මස 03 වැනිදා සිය රැකියාවෙන්ද ඉල්ලා අස්වීමේ ලිපිය අම්පාර රෝහල් අධ්‍යක්ෂවරයා වෙත භාර දී ඇත. පසුව ඇය සිය ඥාතීන්ගෙන්, මිතුරන්ගෙන් සහ මූල්‍ය ආයතනවලින් ණයට ගත් ඉහත දැක්වූ මහා පරිමාණ මුදල සැකකරු වෙත ලබා දී ඇති බව හෙළි වී තිබේ.

    විදේශගත වීමට පෙර මසක පමණ කාලයක් ගත කිරීම සඳහා සැකකරු විසින් දර්ශනීව නුවරඑළියේ පිහිටි සුපිරි හෝටලයකට කැඳවාගෙන විත් තිබේ. එහිදී ඔවුන් යුවළක් ලෙස කාලය ගත කර ඇති අතර, විදේශ ගමන ප්‍රමාද වීම හේතුවෙන් දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය විය.

    ReplyDelete
Previous Post Next Post