උසස් පෙල විභාගය කල් දමන ලෙස ඉල්ලමින් නඩු පවරන බව පිහිටි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
එම පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයට සූදානම් වීම සඳහා දරුවන්ට ඕනෑම වසරකදී මාස 24ක කාලයක් ලැබෙනවා. සමහර අවුරුදුවලදී ඒක මාස 32 දක්වා වැඩිවුණු අවස්ථාවත් තිබෙනවා. මෙවර පළමු වතාවට උසස් පෙළ විභාගයට ලියන දරුවන්ට විභාගයට සූදානම් වීම සඳහා ලැබුණේ මාස 21ක කාලයක් පමණයි. ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් කලින් වතාවේ ප්‍රතිඵල නිකුත් වී, ඊළඟ විභාගයට සූදානම් වීමට දෙවන වර සහ තුන්වන වර ලියන දරුවන්ට දින 178ත් 198ත් අතර කාලයක් ලැබෙනවා. නමුත් මෙවර ලබාදීලා තියෙන්නේ දින 133ක් පමණයි. මෙන්න මේ අනිත් වසරවල දරුවන්ට ලැබුණු කාලය තරම් ප්‍රමාණවත් කාලයක් මේ වසරේ දරුවන්ට ලබා නොදීම හේතුවෙන්, මේ වසරේ උසස් පෙළ විභාගයට ලියන දරුවන්ට අසාධාරණයක් වෙන බව අපි පහුගිය සතියේ මාධ්‍ය හමුවක පෙන්වලා දීලා, මේ විභාගය දරුවන්ට ප්‍රමාණවත් කාලයක් ලැබෙන අයුරින් කල් දාන්නැයි කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.
මේ වසරේ විශ්වවිද්‍යාලයට තෝරගන්නේ මේ වසරේ විභාගයට ලියන දරුවන් පමණක් වන නිසා, වෙනත් වසරවල දරුවන්ට ලැබුණු කාලයම මේ වසරේ දරුවන්ට නොලැබුණත්, මේ වසරේ විභාගය ලියන සියලුම දරුවන්ට එකම කාලයක් ලැබෙන නිසා දරුවන්ට අසාධාරණයක් වෙනවා කියන්නේ කොහොමද කියලා සමහර ගුරුවරු වගේම සමහර නීතිඥයන් පවා අපෙත් එක්ක තර්ක කළා. ඒ නිසා අපි මේ ඉදිරිපත් කරන තර්කය ඒ අයට වගේම ආණ්ඩුවටත් සමහර විට තේරිලා නැතුව ඇති.
ඒ නිසා අපි ඒක පැහැදිලි කරමු. විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නේ මේ වසරේ විභාගයට මුහුණ දුන්නු දරුවන් පමණක් නිසාත්, ඒ සෑම දරුවෙකුටම එකම කාලයක් ලැබුණු නිසාත්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් නම් දරුවන්ට සමාන කාලයක් ලැබුණු බව ඇත්තක්.
නමුත් උසස් පෙළ විභාගයෙන් තෝරා ගන්නේ විශ්වවිද්‍යාලයට පමණක් නෙවෙයි. විශ්වවිද්‍යාල යන අයට සමාන කාලයක් ලැබිලා තියෙනවා. හැබැයි විශ්වවිද්‍යාලයට නොතේරුණු අයට මොකද වෙන්නේ?
මේ උසස් පෙළ ප්‍රතිඵල මත බඳවා ගන්න එකම තැන විශ්වවිද්‍යාලය නෙවෙයි. බොහෝ තනතුරුවලට බඳවා ගැනීම සිද්ධ කරන්නේ, බොහෝ ආයතනවලට බඳවා ගැනීම සිද්ධ කරන්නේ උසස් පෙළ ප්‍රතිඵල මත. උදාහරණයක් විදිහට, රජයේ කළමනාකාර සහකාරවරුන් ගත්තොත්, උසස් පෙළ විභාගයේදී සාමාන්‍ය සාමාර්ථ තුනක් තියෙන්න ඕනේ මේ විභාගයට ලියන්න. දැන්, මාස 24 සිට 32 දක්වා කාලයක් තිබුණු දරුවන් උසස් පෙළේදී හොඳින් විභාගයට සූදානම් වෙලා, විශාල පිරිසක් සාමාන්‍ය සාමාර්ථ තුනම අරන් ඉන්නවා. හැබැයි 2026 ලියන දරුවන් අතර අර එස් තුනම ගන්න අය අඩුවෙන්න පුළුවන්. එතකොට එස් තුනක් තිබුණොත් කළමනාකාර සහකාර කෙනෙක් වෙන්න පුළුවන් නිසා, අනිත් වසරවල දරුවන්ට සාපේක්ෂව 2026 වසරේ ලියූ දරුවන්ට අසාධාරණයක් වෙනවා. මොකද කළමනාකාර සහකාරවරුන් බඳවාගද්දී එස් තුනක් ඉල්ලන්නේ මේ අවුරුද්දේ ලියපු අයගෙන්ම නෙවෙයි. ඕනෑම වසරක ලියපු අයට ඒකට අයදුම් කරන්න පුළුවන්. එතනදී විවිධ වසරවල ලියූ දරුවන් සියලු දෙනාම එකම තලයේ තබනවා. අන්න එතකොටයි සූදානම් වීමට අඩු කාලයක් ලැබුණු අයට අසාධාරණයක් වෙන්නේ.
කළමනාකාර සහකාරවරුන් විතරක් නෙවෙයි, රජයේ විවිධ තනතුරු, උප පොලිස් පරීක්ෂකවරු, හෙදියන්, ග්‍රාම නිලධාරීන් වගේ රජයේ තනතුරු විශාල ගණනකට බඳවා ගන්නේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත එක වසරක නෙවෙයි, ඕනෑම වසරක වාඩිවෙච්ච සියලුම දෙනා එකට තියලයි ප්‍රතිඵලය බලන්නේ. ඒ විතරක් නෙවෙයි අතිශයින්ම වැදගත් වෘත්තියක් වෙන නීති වෘත්තියට අදාළව, නීති විද්‍යාලයට බඳවා ගන්නෙත් උසස් පෙළ ප්‍රතිඵල මත. අන්න ඒ නිසා තමයි අන් වසරවල දරුවන් එක්ක මේ වසරේ උසස් පෙළ විභාගයට වාඩිවෙන දරුවන්ට ලැබුණු කාලය සංසන්දනය කිරීම අවශ්‍ය වෙන්නේ.
ඔන්න ඔය කාරණය උඩ තමයි උසස් පෙළ විභාගයට ලියන දරුවන්ට සෑම වසරකම අවම පොදු කාලයක් තිබිය යුතුයි කියලා අපි තර්ක කරන්නේ. ඒ වගේම සාමාන්‍ය පන්තියේ දරුවෙකුට ජීවිතය ජයගන්න තිබෙන ස්වර්ණමය අවස්ථාව තමයි රජයේ විභාගයන්, විශේෂයෙන්ම පාසල් විභාගයන්. මගේ ජීවිතයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍ය දෙක ශිෂ්‍යත්ව දෙකක්. මම පහේ ශිෂ්‍යත්වය ලංකාවේ ඉහළින්ම සමත්වුණු නිසා, මට ගමෙන් කොළඹට එන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ වගේම උසස් පෙළ විභාගයේදී ලංකාවේ පළමුවැන්නාට සමත්වෙන්න පුළුවන් වුණු නිසා ලංකාවෙන් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන්න යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා.
මේ ශිෂ්‍යත්ව දෙක තමයි මගේ ජීවිතයේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍ය දෙක. අද මම මෙතන ඉන්නේ ඒ විභාග ජයග්‍රහණ දෙකට පින් සිද්ධවෙන්න. එදා මට ලැබුණු අවස්ථාව මේ රටේ සාමාන්‍ය පන්තියේ සෑම දරුවෙකුටම ලැබිය යුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා. අන්න ඒ නිසයි මේ රටේ දරුවන්ගේ විභාග අයිතිය වෙනුවෙන් අපි පෙනී ඉන්නේ.
මෙන්න මේ කාරණය පදනම් කරගෙන තමයි 2012දී මගේ ආදරණීය ගුරුතුමා, බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිතුමා, පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න උත්සාහ කළ අවස්ථාවේ අපි පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට එරෙහිව සටන් කළා. එතුමාත් එක්ක මම ප්‍රසිද්ධ විවාදයක් කළා. අවසානයේදී අපි ඉදිරිපත් කරපු තර්ක සාධාරණයි කියලා පිළිඅරගෙන, පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමේ අදහස ආණ්ඩුව අත්හැරියා.
ඒ වගේම 2022දීත් මේ ආකාරයෙන්ම උසස් පෙළ විභාගයට වාඩිවෙන දරුවන්ට, විශේෂයෙන්ම දෙවන සහ තුන්වෙන වර වාඩිවෙන දරුවන්ට, විභාගයට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් තිබුණේ නැහැ. අපි ඒක අභියෝගයට ලක් කරලා අධිකරණයේ නඩුවක් ගොනුකරන්න උත්සාහ කලාම, එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්, අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාත් අපිට කතාකරලා, නඩුව දාන්න එපා ඔබගේ ඉල්ලීම සාධාරණයි අපි ඒක ඉටුකරන්න ලෑස්තියි කියලා අපිට දැනුම් දුන්නා.
ඒ අයුරින්ම අපි පහුගිය සතියේ මාධ්‍ය හමුවක් තියලා, මෙවර උසස් පෙළ විභාගයට වාඩිවෙන දරුවන්ට සිදුවී ඇති අසාධාරණය කරුණු සහිතව, තාර්කිකව පැහැදිලි කිරීමක් කළා. අර කලින් ආණ්ඩු දෙක වගේ නෙවෙයි, මේ ආණ්ඩුව ඉතාම උද්ධච්ඡාකාරයෙන් කිව්වා "කවුරු මොනවා කිව්වත් අපි එක දවසකින්වත් උසස් පෙළ විභාගය කල් දාන්නේ නැහැ" කියලා පහුගිය සිකුරාදා නිවේදනයක් නිකුත් කරලා තිබුණා.
මේ ආණ්ඩුවට විතරයි මේ අසාධාරණය තේරුම් ගන්න බැරිවුණේ. මේ ආණ්ඩුව විතරමයි දරුවන්ගේ බලාපොරොත්තු කඩවීම ගැන සංවේදී නොවූණේ. සාමාන්‍යයෙන් යමක් තේරුම් ගන්න බැරිවුණාම මිනිස්සු උපකල්පනය කරනවා මොළයක් නැහැ කියලා. ඒ වගේම යමකට සංවේදී නොවූණාම අනුමාන කරනවා පපුවක් නැහැ කියලා. ආණ්ඩුවකට ඔළුවයි පපුවයි දෙකම නැහැ කියන්නේ බරපතල ප්‍රශ්නයක්. ආණ්ඩුව මේ පුංචි අහිංසක දරුවන්ගේ අනාගත බලාපොරොත්තු කුඩුපට්ටම් කරලා දානවාට එරෙහිව, මේ සතිය තුළ නඩුවක් ගොනු කිරීමට අපි කටයුතු කරනවා.
"අනේ අදම නඩු දාන්නකෝ" කියලා විභාගයට වාඩිවෙන දරුවන් වගේම, දරුවන්ගේ දෙමව්පියනුත් වරින් වර අපට කතා කරනවා. හැබැයි මේ නඩු දානවා කියන එක සංකීර්ණ ක්‍රියාවලියක්. මුලින්ම නඩු නිමිත්ත ඇතිවෙන්න ඕනේ. අපි ආණ්ඩුවෙන් ඉල්ලීම කරලා, ආණ්ඩුව ඒක ප්‍රතික්ෂේප කළේ ගිය සිකුරාදා. දැන් තමයි නඩු නිමිත්ත ඇතිවෙලා තියෙන්නේ "මේ විභාගය කල් දාන්න" කියලා නඩුවක් ගොනුකරන්න.
ඒ වගේම දැන් අපි දැන් මේ මාධ්‍ය හමුවල කියන කතාව වගේ නෙවෙයි, අධිකරණයට ගිහිල්ලා කියද්දී ඒ සෑම කාරණයකටම ලිඛිත සාක්ෂි තියෙන්න ඕනේ. ඒ නිසා එක් එක් වසරේ විභාගය පැවැත්වුණු දින වකවානු, ඒ වගේම එක් එක් වසරේ ප්‍රතිඵල ආපු දින, පාසල් වාර ආරම්භ කරපු දින, මේ සියල්ලම රජයේ ගැසට් වැනි ලිඛිත සාක්ෂි හරහා අපි අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ. ඒවා මේ දවස්වල හොයාගෙන යනවා. සාමාන්‍යයෙන් ඒවා නීතිඥවරුන්ගේ වැඩ නෙවෙයි. ඒවා පෙත්සම්කරුවන්ගේ වැඩ. ඒවා හොයලා දුන්නම තමයි අපි නඩුව දාන්නේ. නමුත් මේ පුංචි දරුවෝ විභාගයට සූදානම් වෙන කාලය වැය කරලා අපිට නඩුවට අවශ්‍ය කරුණු හොයලා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න බැහැ. ඒ නිසා අපි මේ තොරතුරු අපිම හොයාගෙන මේ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම නඩුව පවරනවා.
මේ දරුවන්ටත් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි නඩුව දිහා බලන් ඉන්නේ නැතුව, "විභාගය කල් දාන්නකෝ" කියන ආයාචනා කරමින් ඉන්නේ නැතුව, විභාගය කල් යන්නේ නැහැයි කියලා හිතාගෙන පාඩම් කරන එක. නඩුවක් දැම්මම විභාගය කල් යන්නත් පුළුවන්, කල් නොයන්නත් පුළුවන්. විභාගය කල් යන්නේ නැහැයි කියලා හිතාගෙන පාඩම් කරන එක හොඳයි. විභාගය කල් යන එක හොඳයි, හැබැයි විභාගය කල් යන්නේ නැහැයි කියලා හිතාගෙන පාඩම් කරන එක ඊටත් වඩා හොඳයි.
