2030 වන විට නිමි තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ අරමුණින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) හෙවත් පොකුරු තේ ගම්මාන 500ක් ඇති කිරිමේ වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ඇතුළු ආයතනවල මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන මගින් කුඩා තේවතු ගොවීන්ගේ දළු අස්වැන්න ඉහළ නැංවීම, ඔවුන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කිරීම, අගය එකතු කළ තේ නිෂ්පාදන හඳුන්වාදීම, තේ කර්මාන්තය සංචාරක ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ කිරීම, නවීන හා තිරසාර වගා ක්‍රම හඳුන්වාදීම, හඳුනාගත් තේ ගම්මාන ආශ්රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ තේ නිෂ්පාදන සමූපකාර සමිති පිහිටුවීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරෙන අතර මෙමගින් කුඩා තේවතු ගොවීන්ට මෙන්ම තේ කර්මාන්තය ආශ්රිත සියලු පාර්ශ්වකරුවන්ට ප්රතිලාභ සැලසීමත්, 2030 වසර වනවිට අපේක්ෂා කරන ජාතික ඉලක්ක සපුරා ගැනීමට දායක වීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ, මෙම තේ ගම්මාන වැඩසටහන යටතේ 2026 වසර තුළ තේ ගම්මාන 144ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්. එම ගම්මාන තෝරා ගැනීමේදී කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවූ අතර, තේ පර්යේෂණ ආයතනය සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් නියමිත විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව එම තෝරාගැනීම් සිදුකර ඇති බවත්ය.
තවද, 2030 වන විට නිමි තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400 දක්වා ඉහළ නැංවීම, ගුණාත්මක තේ නිෂ්පාදනය වර්ධනය කිරීම සහ ඒ හරහා ගොවීන්ගේ ආර්ථික ශක්තිය තවදුරටත් වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අපේක්ෂාවන් බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව “Ceylon Tea Village” වැඩසටහනේ සමාරම්භක අවස්ථාව 2026 ජූලි මස 15 වැනි දින පැවැත්වීමට නියමිත බවත්, දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි මූලික අදියරේ තේ ගම්මාන 144ක වැඩ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩි දුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, ඇතුලු අමාත්‍යාංශ නිළධාරින් ද, කුඩා තේ වතු සංවර්ධාන අධිකාරිය, ශ්‍රි ලංකා තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය, ජාතික වැවිලි කළමණාකරන ආයතන යන ආයතනයන් හී සභාපතිවරුන් ඇතුලු නිළධාරින් ද, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතාවතු සංවර්ධන මණ්ඩලය,ඇල්කඩුව වැවිලි සමාගම, කලුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම යන ආයතනයන් හී සභාපතිවරුන්ද සහභාගි විය.

තේ වත්තෙ ගම්මිරිස් වවන්ට බැරිද?
ReplyDelete