මෙරට ආර්ථිකය තුළ කිසිදු අර්බුදකාරී තත්ත්වයක් නොමැති බවත්, රුපියලේ අගය යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වී ඇත්තේ ලෝකයේ පවතින යුදමය තත්ත්වයන් හමුවේ ඇති වූ කම්පනයක් (Shock) නිසා පමණක් බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි.
රට තුළ ආර්ථිකය බිඳ වැටෙන බවට පතුරුවා හරින ප්‍රකාශ වැරදි සහගත බව පෙන්වා දෙන අමාත්‍යවරයා, සැබෑ ආර්ථික අර්බුදයකදී දැකිය හැකි ලක්ෂණ වන භාණ්ඩ නිෂ්පාදනය අඩාල වීම, සේවක උද්ඝෝෂණ, භාණ්ඩ හිඟය, පෝලිම් නිර්මාණය වීම හෝ රජයට ආදායම් එකතු කර ගැනීමට නොහැකි වීම වැනි කිසිදු තත්ත්වයක් වර්තමානයේ නොමැති බව සඳහන් කළේය.
මෙම තාවකාලික ආර්ථික කම්පනය නිසා පීඩාවට පත්වන විශේෂිත කණ්ඩායම් සඳහා සහන සැලසීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.
ඒ අනුව පළමුව රුපියල් බිලියන 100ක් ද, පසුව තවත් රුපියල් බිලියන 20ක් ද වශයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් මත මුදල් වෙන් කර ඇත.
ඩොලරයේ මිල තීරණය වන්නේ වෙළඳපොළේ පවතින ඉල්ලුම සහ සැපයුම මත බව පෙන්වා දුන් අනිල් ජයන්ත මහතා, යුදමය තත්ත්වයෙන් පසු භාණ්ඩ ආනයනය සඳහා වූ ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ ගිය බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, අපනයන ආදායම, සංචාරක කර්මාන්තය සහ විදේශ ප්‍රේෂණ නිරන්තරයෙන් වර්ධනය වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 695ක මුදල භාණ්ඩාගාරයට බැර වීමත් සමඟ මෙරට විදේශ සංචිත තත්ත්වය තවදුරටත් ශක්තිමත් වී ඇති බවත්, එමගින් බාහිර අංශයේ ස්ථාවරත්වය තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගිය දිනවල ඩොලරයක මිල රුපියල් 350 ඉක්මවා ගියද, රජයේ සහ මහ බැංකුවේ මැදිහත්වීම මත එය රුපියල් 330 මට්ටම දක්වා ක්‍රමිකව අඩු වූ බවත්, වෙළඳපොළේ ඇති වූ යම් යම් සමපේක්ෂණ සහ බිය නිසා සිදුවන සුළු උච්චාවචනයන් පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි,. ආර්ථිකය බිඳ වැටීමක් හෝ ආනයන සීමා කිරීමක් සිදු නොවන බැවින් නොමඟ යවන සුළු තොරතුරු මත තීරණ නොගන්නා ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය
