මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න කරමින් ඉරානය විසින් සිය අසල්වැසි රටවල් වන කුවේටය සහ බහරේනය ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
එක්සත් ජනපද මධ්‍යම විධානය සඳහන් කළේ ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල හතෙන් හයක්ම සාර්ථකව ව්‍යර්ථ කිරීමට ඇමරිකානු හමුදා සමත් වූ බවයි.
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඇමරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් කලාපයේ පිහිටි සතුරු කඳවුරු වෙත මෙම මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි.
මෙම ප්‍රහාරයන් හමුවේ කුවේටයේ සහ බහරේනයේ අනතුරු ඇඟවීමේ සංඥා කිහිප වතාවක්ම නාද වී ඇති අතර, වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එරට ආරක්ෂක අංශ උපදෙස් දී ඇත.
බහරේනයේ පිහිටි ඇමරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානයට හානි සිදුව ඇති බවට ඉරානය කළ ප්‍රකාශ අසත්‍ය බවත්, කිසිදු ඇමරිකානු සෙබළෙකුට හානියක් සිදුව නැති බවත් තහවුරු කළේය.
මෙම සිදුවීමට පැය කිහිපයකට පෙර, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට තර්ජනයක් වෙමින් ඉරානය විසින් එවූ මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා හතරක් වෙඩි තබා බිම හෙළීමට ඇමරිකානු හමුදා කටයුතු කර ඇත.
ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු හමුදා ඉරානයේ ගොරුක් (Goruk) සහ කේශ්ම් (Qeshm) දූපතේ පිහිටි රේඩාර් මධ්‍යස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කර ඒවා විනාශ කර තිබේ.
ඉරාන විදේශ අමාත්‍යාංශය මෙම ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින් කියා සිටියේ, ඇමරිකාව විසින් ඉරාන තෙල් නැවකට සහ සන්නිවේදන කුළුණකට ප්‍රහාර එල්ල කර ඇති බවයි. එමෙන්ම සිය භූමිය ඇමරිකානු හමුදාවන්ට භාවිතා කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් කුවේටය සහ බහරේනය ද මෙම ආක්‍රමණයේ හවුල්කරුවන් බවට ඉරානය චෝදනා කරයි.
පසුගිය පෙබරවාරි 28 වන දින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව "ප්‍රධාන යුද මෙහෙයුම්" ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙම ගැටුම් ආරම්භ විය. සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණද, සාම සාකච්ඡා අසාර්ථක වීම සහ දෙපාර්ශවයම සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් කලාපය දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇත. ජනාධිපති ට්‍රම්ප් මෑතකදී ප්‍රකාශ කළේ ඉරානය සමඟ ඇති කරගන්නා ගිවිසුමක් ඇමරිකාවේ ජාතික අවශ්‍යතාවන්ට ගැළපෙන එකක් විය යුතු බැවින් එය කඩිනම් නොකරන බවයි
