හමුදා මෙහෙයුම් නොනවත්වන බව ඊශ‍්‍රායලය කියයි...


 ඉරානය සහ එක්සත් ජනපදය අතර ඇති කරගෙන තිබෙන නව එකඟතාව සමඟ ලෙබනන පෙරමුණේ සටන්විරාමය ද එකට ගැටගැසීමට ඉරානය ඉදිරිපත් කළ ඉල්ලීම ඊශ්‍රායලය විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත.

මේ සම්බන්ධයෙන් වොෂින්ටනයෙන් කෙතරම් බලපෑම් එල්ල වුවද, තම ස්ථාවරය වෙනස් නොකරන බව කැබිනට් මණ්ඩලය අවධාරණය කරයි. 

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් ඉරිදා රැස්වූ ආරක්ෂක කැබිනට් මණ්ඩලය, ඉරාන ගිවිසුමෙන් ලෙබනන පෙරමුණ වෙන්කර තබා ගැනීමටත්, දකුණු ලෙබනනය තුළ ඊශ්‍රායල ආරක්ෂක බලකායේ රැඳී සිටීම අඛණ්ඩව පවත්වාගෙන යාමටත් ගනු ලැබූ තීරණයට ඒකමතික අනුමැතිය ලබා දී තිබේ. 

නව කැබිනට් තීරණයට අනුව, ඊශ්‍රායල ආරක්ෂක බලකායන් දකුණු ලෙබනන් කලාපයේ දිගටම රැඳී සිටිමින් තම මෙහෙයුම් දියත් කරනු ඇත. මෙහිදී හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල භූමිය ඉලක්ක කර ගනිමින් යම් ප්‍රහාරයක් එල්ල කළහොත්, ලෙබනන භූමියේ අභ්‍යන්තරයටම වැදෙමින් ඊට ඉතා දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ද කැබිනට් මණ්ඩලය අනතුරු හඟවා තිබේ. 

ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ  විසින් යෝජනා කරන ලද රාමුවකට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද මෙහිදී එකඟතාව පළ විය. එම යෝජනාවට අනුව, හිස්බුල්ලා සටන්කාමීන් ලිටානි ගඟෙන් ඔබ්බට පසුබැසීමට එකඟ වන්නේ නම්, ඊශ්‍රායල හමුදාව ඉවත් වන ප්‍රදේශවල ලෙබනන රජයේ නිල හමුදාවන් ස්ථානගත කිරීමට නියමිතය. එහෙත් හිස්බුල්ලා සංවිධානය ඊට දිගින් දිගටම එකඟ නොවන්නේ නම්, දකුණු ලෙබනනයේ ආරක්ෂක වගකීම ඊශ්‍රායල හමුදාව විසින්ම තවදුරටත් ඉටු කරනු ඇත. 

බෙයිරූට් අගනුවර පිහිටි හිස්බුල්ලා දේශපාලන හා මිලිටරි බලකොටුවක් වන 'දහියේ'  කලාපයට ප්‍රහාර එල්ල කිරීමට අග්‍රාමාත්‍ය නෙදන්යාහු ගත් තීරණයත් සමඟ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පරිපාලනය සහ ඊශ්‍රායලය අතර දැඩි රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව වාර්තා වේ. 

"මේ මොහොත වන විට ජනාධිපති ට්‍රම්ප් සමඟ පවතින සබඳතා වෙන කවරදාකටත් වඩා නොසන්සුන් සහ බිඳවැටීමේ මට්ටමක පවතිනවා," යැයි ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ. 

කෙසේ වෙතත්, ධවල මන්දිරය සමඟ පවතින මෙම මතභේදකාරී තත්ත්වය තවදුරටත් දිග්ගැස්සුණද, හිස්බුල්ලා සංවිධානය එල්ල කරන සෑම ප්‍රහාරයකටම ඔවුන්ට දැඩි වන්දියක් ගෙවීමට සැලැස්විය යුතු යන්න පිළිබඳව සියලුම කැබිනට් අමාත්‍යවරු එකඟ වී සිටිති. 

එක්සත් ජනපදය හා ඉරානය අතර ඇති කරගෙන තිබෙන ද්විපාර්ශ්වික ගිවිසුමේ අන්තර්ගතයන් සම්බන්ධයෙන් මැදිහත් වීමට ඊශ්‍රායලයට කිසිදු අදහසක් නොමැති බව ද කැබිනට් මණ්ඩලය අවධාරණය කර ඇත. එම කටයුතු සම්පූර්ණයෙන්ම ජනාධිපති ට්‍රම්ප් සතු වගකීමක් වන බැවින්, ඊශ්‍රායලයේ අවධානය තම රටේ උතුරු දේශසීමාවේ ආරක්ෂාව තහවුරු කරගැනීම කෙරෙහි පමණක් යොමු කරන බව රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍ර වැඩිදුරටත් පවසයි.

3 Comments

  1. හමුදා මෙහෙයුම් නැවැත්තුවුවොත්, සාමය ඇති වුනොත්, බෙන්ජමින්ගෙ දූෂණ, වංචා නඩු ආපහු සක්‍රිය වෙනවා. ඒ නිසා, එයා⁣ට දිගටම යුද්ධයක් අවශ්‍යයි!

    ReplyDelete
  2. Until this guy & their zionist greater Israel project is neutralized there won't be any peace in the middle-east or in the whole world.

    ReplyDelete
  3. මෙවැනි කෘර රාජ්‍ය පාලකයන් ලොවම විනාශ කරගෙන යනවා.කාලයක් අපට උදව් කල රටක් වුවත් වැරැදි දෙ වැරදියි නෙදන්යාහු.

    ReplyDelete
Previous Post Next Post