2024/25 මූල්‍ය වර්ෂය තුළ ශ්‍රීලන්කන් ගුවන් සමාගම රුපියල් බිලියන 7.59 ක (රු. මිලියන 7,594.56) දැවැන්ත ශුද්ධ අලාභයක් වාර්තා කර ඇතැයි සමාගමේ නවතම වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.
පෙර මූල්‍ය වර්ෂයේදී (2023/24) රුපියල් බිලියන 3.87 ක ශුද්ධ ලාභයක් ලබා තිබූ සමාගම, මෙම වසරේදී නැවතත් දැඩි මූල්‍ය පසුබෑමකට ලක්ව ඇති අතර, සමාගම සහ එහි අනුබද්ධ ආයතනය ඇතුළත් සමස්ත සමූහයේ ශුද්ධ අලාභය ද රුපියල් බිලියන 2.73 ක් (රු. මිලියන 2,735.28) ලෙස සටහන්ව තිබේ.
මෙම අලාභයත් සමඟ ශ්‍රීලන්කන් සමාගම මෙතෙක් ලබා ඇති සමුච්චිත අලාභය (Accumulated Losses) රුපියල් බිලියන 616.30 ක් (රු. මිලියන 616,306) දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත සමූහයේ සමුච්චිත අලාභය රුපියල් බිලියන 596.46 කි. 2025 මාර්තු 31 වන විට සමාගමේ ජංගම වගකීම් ප්‍රමාණය ජංගම වත්කම් ඉක්මවා රුපියල් බිලියන 368.29 ක අතිරික්තයක පැවතීමත්, සමස්ත හිමිකාරිත්වය රුපියල් බිලියන 403.17 ක ඍණ අගයක් ගැනීමත් හේතුවෙන්, රජයේ මූල්‍ය සහය නොමැතිව ආයතනයේ ඉදිරි පැවැත්ම පිළිබඳ බරපතළ අවිනිශ්චිතතාවක් පවතින බව විගණකාධිපතිවරයා සිය වාර්තාව මඟින් අවධාරණය කරයි.
සමාගමේ ආදායම ද පෙර වසරට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටී ඇති අතර, එය රුපියල් බිලියන 333.61 සිට බිලියන 296.50 දක්වා අඩුවී ඇත. මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස වර්ධනය වූ පසුබිමක පවා ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රවාහනය කළ මගීන් සංඛ්‍යාව 3,466,050 දක්වා සියයට 4 කින් අඩු වීම කැපී පෙනේ.
එන්ජින් දෝෂ, අමතර කොටස් හිඟය සහ නඩත්තු ප්‍රමාදයන් හේතුවෙන් ගුවන් යානා මෙහෙයුම් සීමා වීම මත වසර තුළ ඉංජිනේරුමය හේතූන් මත පමණක් ගුවන් ගමන් වාර 487ක් අවලංගු කිරීමට සිදුව ඇති බව වාර්තාව අනාවරණය කරයි. මීට අමතරව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) සමාගම සතුව තිබූ මගී ආසන ධාරිතා වෙළෙඳපොළ කොටස ද සියයට 40 දක්වා පහත වැටී තිබේ.
එසේම, මධ්‍යම පෙරදිග කලාපයේ පවතින භූ-දේශපාලනික අර්බුද හේතුවෙන් ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීමට සිදුවීමෙන් ඉන්ධන පිරිවැය සහ පියාසර කාලය ඉහළ යාම, ලන්ඩන් හීත්‍රෝ වැනි ප්‍රධාන ගුවන් තොටුපළවල ගුවන් ගමන් වේලාවන් වෙනස් කිරීමට සිදුවීම නිසා මගීන්ට මඟහැරුණු ගුවන් වාර සහ යානාවලින් මගීන් ඉවත් කිරීමට සිදුවීම වැනි මෙහෙයුම් ගැටලු රැසකට ද ආයතනයට මුහුණ දීමට සිදුව ඇත.
සමාගමේ මූල්‍ය බර තවදුරටත් උග්‍ර කරමින්, පොලී සහිත ණය සහ කල්බදු වගකීම් වෙනුවෙන් වැය වූ ශුද්ධ මූල්‍ය පිරිවැය රුපියල් බිලියන 31.59 ක දැවැන්ත අගයක් ගෙන තිබේ. ලීසිං ගත් A320/321 Neo ගුවන් යානා එන්ජින්වල හදිසි අලුත්වැඩියාවන් වෙනුවෙන් රුපියල් බිලියන 2.22 ක මුදලක් වෙන් කිරීමට සිදුව ඇති අතර, A350 ගුවන් යානා සම්බන්ධයෙන් රෝල්ස් රොයිස් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම් කඩවීම හේතුවෙන් ගෙවිය යුතු දඩ සහ හිඟ මුදල් වෙනුවෙන් රුපියල් බිලියන 13.45 ක ප්‍රතිපාදනයක් ද වෙන් කර ඇත.
මේ වන විට ගුවන් සමාගම සතු සමස්ත වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 585.14 ක් වන අතර, ඉන් රුපියල් බිලියන 91.31 ක් දේශීය රාජ්‍ය බැංකු ණය සහ රුපියල් බිලියන 62.67 ක් (ඇ.ඩො. මිලියන 175) කල්ඉකුත් වූ ජාත්‍යන්තර බැඳුම්කර වේ. රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ මෙම රාජ්‍ය බැංකු ණය පියවීම සඳහා භාණ්ඩාගාරය මැදිහත් වීමට එකඟතාව පළ කර ඇති අතර, ජාත්‍යන්තර බැඳුම්කරය සම්බන්ධයෙන් ණයහිමියන් විසින් සමාගම ඈවර කිරීමට ගත් උත්සාහයකට එරෙහිව වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට ද පියවර ගෙන තිබේ.
මීට අමතරව මැදපෙරදිග ගුවන් සේවාවන් වෙත පළපුරුදු ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන් ඇදීයාම නිසා සියයට 7 ක ඉහළ සේවක පිරිවැටුමක් නිර්මාණය වීම ද මෙහෙයුම් කටයුතුවලට දැඩි අභියෝගයක් වී ඇති බව වාර්ෂික වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
SriLankan Airlines Reports Record Loss of Rs. 7.59 Billion for 2024/25 Fiscal Year
SriLankan Airlines has disclosed a staggering net loss of Rs. 7.59 billion (approximately Rs. 7,594.56 million) for the 2024/25 financial year, as highlighted in the company’s latest annual report.
Last fiscal year (2023/24), the airline had recorded a net profit of Rs. 3.87 billion, marking a dramatic turnaround in its financial performance as the company faces significant challenges this year. The total group loss, including its subsidiaries, stands at Rs. 2.73 billion (Rs. 2,735.28 million).
This latest loss has pushed the accumulated losses of SriLankan Airlines to Rs. 616.30 billion (Rs. 616,306 million), while the group's total accumulated losses have reached Rs. 596.46 billion. As of March 31, 2025, the airline's current liabilities exceed its current assets by Rs. 368.29 billion, alongside a total equity position reflecting a deficit of Rs. 403.17 billion. These alarming figures point to severe uncertainty regarding the airline's future, heightened by the company's lack of financial support from the government, as emphasized by the chief auditor in the report.
The airline's revenue has also taken a hit, decreasing by 11% from Rs. 333.61 billion to Rs. 296.50 billion compared to the previous year. This decline is particularly notable considering a significant increase in tourist arrivals to the country; yet passenger numbers served by SriLankan Airlines fell by 4% to 3,466,050.
Operational limitations have arisen from engine failures, shortages of spare parts, and maintenance delays, resulting in the cancellation of 487 flights during the year. Additionally, the airline's market share at Bandaranaike International Airport has dropped to 40%.
The geopolitical turmoil in the Middle East has necessitated changes to flight routes, leading to increased fuel costs and flight durations. Alterations to flight schedules at major airports like London Heathrow have caused operational disruptions, leading to missed flight connections and the need to offload passengers.
The financial burden on the airline continues to escalate, with interest-bearing loans and outstanding obligations costing a staggering Rs. 31.59 billion in net financial expenses. Emergency repairs on leased A320/321 Neo engines required an allocation of Rs. 2.22 billion, while a provision of Rs. 13.45 billion has been set aside for penalties and outstanding payments resulting from a contract breach with Rolls Royce regarding the A350 aircraft.
The current total liabilities of the airline amount to Rs. 585.14 billion, which includes Rs. 91.31 billion in domestic state bank loans and Rs. 62.67 billion (approximately USD 175 million) in overdue international bonds. As part of a government debt restructuring initiative, the Treasury has agreed to intervene to facilitate repayment of the domestic loans, while the company has taken legal measures to obtain an injunction against bondholders attempting to seize control.
Furthermore, the recruitment of experienced engineers and technicians for Middle Eastern airlines has intensified competition, contributing to a 7% increase in employee costs, presenting substantial challenges to the airline's operational effectiveness, according to the annual report.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
