මාලිමා සභාපති ඝාතනය කරන බවට දුරකතනයෙන් දන්වයි...


හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන කසුන් රත්නායක (ජාතික ජන බලවේගය) මහතාට එල්ල වූ මරණීය තර්ජනයක් සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 සභාපති රත්නායක මහතා මෙම තර්ජනය පිළිබඳව පොලිසියට පැමිණිලි කළේය.

පසුගිය 27 වැනි දින, එනම් මහජන දිනය පැවති අවස්ථාවේදී, දහවල් මෙම තර්ජනය එල්ල වී ඇත.

සභාපති කාර්යාලයේ නිල ජංගම දුරකථන අංකයට සාමාන්‍ය දුරකථන ඇමතුමක් මඟින් මෙය ලැබී තිබේ. ඇමතුම ලබා දුන් පුද්ගලයා "හඳයා" ලෙස හඳුන්වා දී ඇත. පැමිණිල්ලට අනුව, තර්ජනය කළ පුද්ගලයා සභාපතිවරයාට, "උඹ දන්නවනේ සනාට වෙච්ච දේ" යැයි පවසමින් මරණීය තර්ජනය කර ඇත.

සිද්ධියට අදාළව, සභාපතිවරයාගේ ලේකම්වරයාගේ සාක්ෂි ප්‍රකාශද පොලිසිය විසින් දැනටමත් සටහන් කරගෙන තිබේ. වැඩිදුරටත් විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ මෙවැන්නකි.

මෙම තර්ජනය සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ලෙස සැලකෙන 'හඳපාන්ගොඩ හඳයා' නමැත්තාගෙන් එල්ල වූවක් නොවන බව තහවුරු වී ඇත.

ඊට හේතුව ලෙස නිලධාරියා පෙන්වා දුන්නේ, එම කල්ලි නායකයා සාමාන්‍ය දුරකථන මාර්ගයෙන් නොව, සාමාන්‍යයෙන් WhatsApp වැනි වෙනත් ක්‍රමවේද ඔස්සේ ඇමතුම් ලබා ගන්නා බැවිනි. ඇමතුම මෙරට තුළම රැඳී සිටින අයෙකු විසින් ලබා දී ඇති බවට සැක කෙරේ.

පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපේක්ෂා කරන අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවීමට නියමිතය.

Previous Post Next Post