දේහයක් ආදාහනයට අධික ගාස්තුවක්...


 හැටන් කොටගල ප්‍රාදේශීය සභාව යටතේ පාලනයවන කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි ආදාහනාගාරයේ දේහයක් ආදාහනය කිරිම සදහා අධික මුදලක් අය කිරිම නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වී ඇති බව එම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සභිකයින් (28) දින මාධ්‍ය ප්‍රකාශයක් පවත්වමින් පැවසීය.

කොටගල ප්‍රාදේශීය සභාවේ ආදාහනාගාරයේ එක් දේහයක් ආදාහනය කිරිම සදහා ගෑස් කිලෝ 46.9ක් වැය වන නිසා 2019 වසරේ සිට පිට පළාත්වලින් රැගෙන එන දේහයක් ආදාහනය කිරිම සදහා රු.25000ක්ද කොටගල ප්‍රාදේශීය සභාවේ බල ප්‍රදේශයේ දේහයක් ආදායනය කිරිමට රු.24000ක මුදලක්ද අය කරන බවත්, එම මුදල රු.15000 දක්වා අඩු කර දෙන ලෙසයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සභිකයින් ඉල්ලා සිටින්නේ.

නෝර්වුඩ්, ගිනිගත්හේන, තලවකැලේ යන ප්‍රාදේශීය සභාවල සහ නුවරඑලිය මහනගර සභාවේ ආදාහනාගාරවල එක් දේහයක් ආදාහනය කිරිම සදහා රු.15000ක මුදලක් පමණක් අය කරන බවද එම මුදලට සමාන මුදලක් කොටගල ආදාහනාගාරයෙන්ද අය කිරිමට කටයුතු කරල ලෙසයි මාධ්‍ය හමුවට එක් වූ ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ සභිකයින් කියා සිටියේ.

එම සභිකයින් ආදාහනාගාරය වෙත ගොස් දේහයන් කිහිපයක් ආදාහනය කිරිම සම්පූර්ණයෙන්ම නිරික්ෂනය කිරිමෙන් පසු එක් දේහයක් ආදාහනය කිරිම සදහා ගෑස් කිලෝ 27ක් පමණක් වැය වන බවත්, ඒ අනුව දේහයක් ආදාහනය කිරිමට දැනට අය කරන මුදල විශාල ලෙස අඩු කල හැකි බවයි එම සභිකයින් මාධ්‍ය හමුවේදි කියා සිටියේ.

තවද දේහයක් ආදාහනය කිරිමට රු.2500ක මුදලක් අය කලද එම ආදාහනාගාරය වෙත පැමිණෙන පිරිසට වැසිකිලි ඇතුලු කිසිදු පහසුකමක් සලසා නොමැති බවත්, එම ආදාහනාගාරය දැඩි ලෙස අපිරිසිදු වී ඇති බවයි එම සභිකයින් වැඩි දුරටත් කියා සිටියේ.

අප මේ සම්බන්ධයෙන් කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජමනී ප්‍රසාද් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ කොටගල ආදාහනාගාරය විදුලියෙන් සහ ගෑස් මගින් ක්‍රියා කරන බවත්, දේහයක් ආදාහනය කිරිමෙදි ගෑස් වලට අමතරව විදුලියද වැය වන බවයි.

ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ සභිකයින් එම ආදාහනාගාරය වෙත ගොස් ගෑස් පිලිබදව පමණක් විමර්ෂණය කර ඇති බවත්, එම ආදාහනාගාරය දේහයන් 100ක් ආදාහනය කිරිමෙන් පසු එය අලුත්වැඩියා කිරිමට රු.475000ක පමණ මුදලක් වැය වන නිසා එම මුදල අය කිරිමට සභාව තීරණය කර ඇති බවද සභාපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් එම ආදාහනාගාරයේ දේහයක් ආදාහනය කිරිමට දැනට අය කරන මුදල ඉදිරියෙදි අඩු කිරිමට 2026 වසරේ අයවැය ඇස්තමේන්තුවට ඇතුලත් කරන බවද කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසිය.

මෙම මාධ්‍ය හමුවට එම ප්‍රා දේශීය සභාව නියෝජනය කරන ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ නායක ජී. රාජේන්ද්‍රන්, සමගි ජන බලගවේගයේ සභික (විපක්ෂනායක) විශ්වනාදන් පුෂ්පා, එම ප්‍රාදේශීය සභාවේ උප සභාපති (ජාතික ජන බලවේගයේ) යාගුල මේරි මහත්මියද සහභාගි විය.

රංජිත් රාජපක්ෂ               

Previous Post Next Post