වැලිගම වෙඩික්කරු මහ පාරේ නඩු ඇසූ පොලිස් නිලධාරීන් ගැන විමර්ශණයක්...


වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම හා බැඳුණු ඇතැම් නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳව මේ වනවිට පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා විසිනි.

මහරගම, නාවින්න ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ඔහුව වීඩියෝවට නගමින් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙම තොරතුරු හෙළි කළේය.

"වෙඩික්කරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී බාහිර පාර්ශවයක් හෝ අපේ පොලිස් නිලධාරියකු මගින් ඡායාරූපගත කරානම් හෝ වීඩියෝ ගත කරානම් ඒ පිළිබඳව අපි විමර්ශන කරනවා. මෙලෙස අධිකරණයේ ක්‍රියාත්මක වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මෙලෙස සාක්ෂි ඉදිරිපත් වීම එම නඩුවට අගතියක්. ඒ වගේම වින්දිතයා ඇතුළු වින්දිත පාර්ශවයට මේක අගතියක් විදියට අපි සලකනවා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම යම්කිසි අපරාධයක් සම්බන්ධයෙන් සංවේදී කරුණු සමාජගත කිරීමට පෙර ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි කියලා අපි මාධ්‍යවේදීන්ගෙනුත් ඉල්ලා සිටිනවා"

Previous Post Next Post