බහුතරය තාමත් කිසිවෙකුට නෑ.. සභාපති නැතිව සීතාවක සභාව අයාලේ...


නව ජනතා පෙරමුණ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු
  පිරිස විසින් මෙතෙක් පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති තෝරා පත් කරගැනීමේ ගැටළුව පිළිබඳ සංදේශයක් මැතිවරණ කොමිෂන් සභාවට ,ආණ්ඩුකාර කාර්යාලයට හා රාජ්‍ය පරිපාලන  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට බාර දෙන ලදී.

එහිදි අදහස් දැක් වු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර සිටියේ 2025 මැයි මස 06 වන දින පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව සීතාවක ප්‍රාදේශීය සභාවේ සමස්ත ආසන සංඛ්‍යාවෙන් 50 කට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් කිසිදු පක්ෂයකට හෝ ස්වාධින කණ්ඩායමකට හෝ දිනා ගැනීමට නොහැකි වීම නිසා 2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතේ 66 ඇ (1) (2) (3) වගන්ති වලට අනුව සභිකයන්ගේ ඡන්දයෙන් සභාපතිවරයා හෝ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා 2025.06.17 වන දින පළමු රැස්වීම කැඳවන ලද අතර එහිදි තෝරා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මතුවු අර්බුදකාරී තත්වයන් හමුවේ සභාවේ ගණපුර්ණය නොමැතිවීම මත අදාල රැස්වීම කල් තබන ලද බවය.

තවද දෙවන වරටද සභාපතිවරයා හෝ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා 2025.07.15 වන දින දෙවන රැස්වීම ද කැඳවන ලද අතර එහිදි ද තෝරා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මතුවු අර්බුදකාරී තත්වය හමුවේ සභාවේ ගණපුර්ණය නොමැතිවීම මත අදාල රැස්වීම ද කල් තබන ලදී.

2025 ජුලි මස 15 වන දින සිට මේ දක්වා මාස තුනකට අධික කාලයක් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හෝ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා රැස්වීමක් කැඳවීමට අදාල කිසිදු නීත්‍යාණුකූල ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාල බලධාරීන් අපොහොසත් වී ඇති බවද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ ක්‍රියා කිරීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්තුමිය අසමත් වී ඇති අතර ඒ තුලින් සීතාවක ප්‍රාදේශීය සභා බල සීමාව තුල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඉතා අවසනාවන්ත තත්වයක් උද්ගත ව ඇති බවද ප්‍රකාශ කරන ලදී.

අද දින  සීතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරන සභිකයින් වශයෙන් අප සැම මෙම සංදේශය බාරදෙමින් ඉල්ලා සිටිනුයේ අප බල සීමාවේ ඡන්ද දායකයින්ගේ අයිතින් දිගින් දිගටම උල්ලංඝනය කරමින් සිදු කරන මෙම ක්‍රියාවලිය නතර කොට වහාම සීතාවක ප්‍රාදේශීය සභාවේ  සභාපතිවරයා හෝ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාල සභා රැස්වීමක් කැඳවීමට අවශ්‍ය කඩිනම්  නෛතීක ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙසය.

Previous Post Next Post