ස්ථාවර දුරකතන භාවිතය හොදටම බහී.. ජංගම දුරකතන ජනගහනය ඉක්මවයි...

ශ්‍රී ලංකාවේ ස්ථාවර දුරකථන සේවා භාවිතය පසුගිය වසරේ (2023) සිට සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) දත්ත අනුව, 2024 වසර වන විට සමස්ත ග්‍රාහක සංඛ්‍යාව 2,122,000 දක්වා පහත වැටී තිබේ.

මෙම අගය 2023 වර්ෂයේදී පැවති ග්‍රාහකයින් 2,308,000 හා සසඳන විට, 186,000 ක අඩුවීමක් සටහන් කරයි. ග්‍රාහකයන්ගේ මෙම පරිහානිය පෙර වසරට සාපේක්ෂව සියයට 8.1 ක පසුබැසීමේ වර්ධන අනුපාතයක් ලෙස තහවුරු වේ.

2024 වාර්තාගත ග්‍රාහක සංඛ්‍යාව වර්ගීකරණය කිරීමේදී, රැහැන් සහිත සබඳතා 1,075,000 ක් ලෙසත්, රැහැන් රහිත ස්ථාවර සේවා 1,046,000 ක් ලෙසත් දැක්වේ.

තවද, රටේ ජනගහනයට සාපේක්ෂව දුරකථන ඝනත්වය ගත් විට, 2024 දී පුද්ගලයන් 100 දෙනෙකු සඳහා පවතින ස්ථාවර දුරකථන සංඛ්‍යාව 9.7 ක් විය. මෙය 2023 වසරේ පැවති 10.5 අගය හා සැසඳීමේදී අඩුවීමකි.

ස්ථාවර දුරකථන සේවා භාවිතයේ මෙම පරිහානිය දීර්ඝ කාලීන ප්‍රවණතාවක් බවට පත්ව ඇත. වසර දහයකට පෙර, එනම් 2014 වසරේදී සමස්ත ස්ථාවර දුරකථන ග්‍රාහකයන් 2,710,000 ක් විය.

2014 දී රැහැන් සහිත සේවා ග්‍රාහකයින් 1,123,000 ක් වූ අතර, රැහැන් රහිත සේවා ග්‍රාහකයින් 1,587,000 ක් විය.

මෙම දත්ත අනුව, දශකයක් තුළ ස්ථාවර දුරකථන ග්‍රාහක සංඛ්‍යාව 588,000 කින් අඩු වී තිබේ. එමෙන්ම, 2014 දී පුද්ගලයන් 100 දෙනෙකුට පැවති දුරකථන ඝනත්වය 13 ක් ලෙස සටහන් විය.

Previous Post Next Post