නාගරික සංවර්ධන අධිකාරියවිසින් පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය ඩොලර් මිලියන 160 කට ජපන් ආයෝජකයෙකුට බදු දීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ඩේලි මිරර් වාර්තා කරයි
නාගරික සංවර්ධන අධිකාරිය සමඟ මෙම ආයෝජකයා විසින් මේ වන විටත් ඇමරිකානු ඩොලර් මිලියන 16 ක මුදලක් ගෙවා ඇති බව සඳහන්ය. පවතින තත්ත්වය යටතේම සංකීර්ණය බදු දීමට නියමිත අතර, ආයෝජකයාගේ සැලැස්ම වන්නේ වෙළෙඳසැල් සහ රාත්‍රී වෙළෙඳපොළ නවීකරණය කිරීමයි.
වත්මන් වෙළෙඳසැල් හිමිකරුවන්ට වන්දි ගෙවීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතී. හිටපු නාගරික සංවර්ධන අමාත්‍යවරයා වූ ආචාර්ය අනුර කරුණාතිලක මහතා සිය ධුර කාලය තුළදී මෙම ජපන් ආයෝජකයා හමුවී ඇති බවද වාර්තා වේ.
මෙම බදු දීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරී නිලධාරීන් ඊයේ (25) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය මුලින්ම මහින්ද රාජපක්ෂ රජය විසින් 2014 වසරේදී රුපියල් මිලියන 344 ක වියදමින් ඉදිකරන ලද්දකි. අක්කර හයක භූමි ප්‍රමාණයකින් යුත් මෙම සංකීර්ණයේ වෙළෙඳසැල් 92 ක් ඇති අතර, එයට විශාල ආපනශාලා දෙකක්ද ඇතුළත්ය. වෙළෙඳසැල් 10 ක් බේරේ වැව මත පිහිටා ඇත.
2021 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 50 ක අමතර මුදලක්ද මේ සඳහා වැය කර තිබුණි.
COVID-19 වසංගතය සහ ඉන්පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් වෙළෙඳ කටයුතු අඩාල වීම නිසා මෙම පාවෙන වෙළෙඳපොළට සැලකිය යුතු පාඩු සිදුව ඇත. මෙම ව්‍යාපෘතිය මුලින් සැලසුම් කර තිබුණේ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටත්, දේශීය අත්කම් සහ සාම්ප්‍රදායික ආහාර අලෙවි කිරීමටත්ය. එහෙත් පසුව වීදි වෙළෙන්දන්ට මෙහි වෙළෙඳාම් කිරීමට ඉඩ දීමත් සමඟ ව්‍යාපෘතියේ මූලික අවධානය වෙනස් වී ඇත.
වසර දෙකකට වැඩි කාලයක් නඩත්තු කටයුතු නොමැතිව වෙළෙඳපොළ ක්‍රියාත්මක වී ඇත. කෙසේ වෙතත්, ජපන් ආයෝජකයා යටතේ නව සැලැස්මක් අනුව සමස්ත සංකීර්ණයම නවීකරණය කිරීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් විදේශීය නිවේදකයෙකු යොදා ගනිමින් තත්පර 20 ක ප්‍රවර්ධන දැන්වීමක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් මිලියන 14.9 ක්ද වැය කර තිබුණි.
