අපි හොර මැර සල්ලාලකම් කරලා නැති නිසා තමයි ජනපති අනුර අන්ත දූෂිතයෙක් කියලා බය නැතිව කියන්නේ..

 


පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

නුගේගොඩ රැස්වීමේ පළමු පේලියේ වාඩි වී සිටි සෑම අයෙකුටම අල්ලස් කොමිසමේ ලිපි ගොනු හතරක් පහක්වත් තිබෙනවා කියලා නලින් හේවගේ, දේවානන්ද සුරවීර, සුන්දරලිංගම් ප්‍රදීප්, සුනිල් රත්නසිරි යන මැති ඇමතිවරු කිව්වා.  මමත් වාඩි වෙලා හිටියේ පළමු පේලියේ තමා.  මට විරුද්ධව අල්ලස් කොමිසමේ තිබෙන ලිපි ගොනු හතරක් පහක් නොවේ, එකම එක ලිපි ගොනුවක් ගැන පුළුවන් නම් කියන්න කියලා. මම මාලිමා මැති ඇමතිවරුන්ට අභියෝග කරනවා. අද මේ මොහොතේ නෙමෙයි 1994 අල්ලස් කොමිසම පිහිටපු දවසේ සිට කිසිම දිනක අපිට එරෙහිව අල්ලස් කොමිසමේ ලිපි ගොනුවක් විවෘත වෙලා නැති බව අපි ඉතාම අවධාරණයෙන්  මාලාමා ඇමතිවරුන්ට සිහිපත් කරනවා.  අපි හොරකම්, මැරකම් සල්ලාලකම් කරලා නැති නිසා තමයි අනුර දිසානායක ජනාධිපතිතුමා අන්ත දූෂිතයෙක් කියලා බය නැතිව කියන්නේ.  මාලිමා ආණ්ඩුව දූෂිතයි කියලා බය නැතිව කියන්නේ. 

අනුර ජනාධිපතිතුමා ලංකා ඉතිහාසයේ බිහි වුණු දූෂිතම ජනපති කියා මම නුගේගොඩ රැස්වීමේ ප්‍රකාශ කලාම මාලිමාවට ගොඩක් රිදිලා.  ඩෝබි බලකාය දාලා අපට මඩ ගහනවා.  ඩෝබි බලකාය කෙතරම් කලබල වුණත් ඩෝබි බලකායේ තිබෙන වීරප්පන් කඩා පැනීමේ ඒකකය කෙතරම් වියරු වැටුණත් මේක තමයි තිත්ත ඇත්ත. අපි සහස්දනවි වංචාව, ඩීසල් මාෆියාවට යට වීම, බහාලුම් 323 වංචාව, කැබ් රථ 1,775 ටෙන්ඩර් වංචාව, සහල් ටෙන්ඩර් වංචාව, ලුණු ආනයන වංචාව වගේ ප්‍රධාන වංචා පැත්තකින් තියමුකෝ.  ආණ්ඩුවේ හොරු අල්ලන විගණකාධිපති ධූරයට සුදුස්සා පැත්තකින් තියලා ජීවිතයට රජයේ විගණනයක් කරලා නැති කැළණි සගයෙක් දා ගන්න හදපු පළමු ජනපති අනුර කුමරු නොවේ ද?  ආණ්ඩුවේ දූෂණ හොයන දූෂණ විමර්ශන කොමිසමේ ලොකු පුටුවට වැඩි ලකුණු ගත්ත මාධව තෙන්නකෝන් මහතාව කපලා දූෂිත කුමන්ත්‍රණයකින් තමන්ගේ එකෙක් දා ගත්තේ අනුර කුමරු නොවේද?  බහාලුම් 323 වංචනිකව වරායෙන් පිටමං කිරිම සම්බන්ධයෙන් ජනපති යටතේම තිබෙන මුදල් අමාත්‍යාංශයේ කමිටුවකින් වැරදිකරු කරපු සීවලී අරුක්ගොඩ මහතාට දඬුවම් කරනවා වෙනුවට ජේෂ්ඨයන් නොසලකා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට උසස්වීමක් ලබා දීලා සම්ප්‍රදාය නොසලකා සේවා දිගුවකුත් ලබා දුන්නේ අනුර කුමරු නොවේ ද?  ඔබටත් වඩා දූෂිත ජනපතිවරයෙකු සිටියා නම් ඔහුව නම් කරන ලෙස මම ඔබතුමාට අභියෝග කරනවා.

සමහරු කිව්වේ නුගේගොඩ රැස්වීම හොරුන්ගේ රැස්වීමක් කියලා.  අපි අතර චෝදනා තිබුන පමණින් ඒ අය හොරුයි කියලා අපිට කියන්න බෑ. මොකද මාලිමාවේ නායකයේ කට ඇරියෝත් කියන්නේ පට්ටපල් බොරු මේවන විට උගන්ඩාවේ සල්ලි, චිචීගේ රෝකට් එක, චිචීගේ පවුම් 90 රත්තරන් මාලේ, රත්තරන් අශ්වයෝ, නාමල් රාජපක්ෂගේ ලැම්බෝ ගිනි 19 වැනි චෝදනා ගණනාවක් පට්ටපල් බොරුය කියලා ඔප්පු වෙලා හමාරයි. ඒ නිසා කාට එරෙහිව තියෙන චෝදනා ඇත්තද? කාට එරෙහිව තියෙන චෝදනා බොරුද? කියන්න අපි දන්නේ නෑ.  ඒ නිසා අපිට දේශපාලනය කරන හැමෝම එක්ක කටයුතු කරන්න අපිට සිද්දවෙනවා. හැබැයි අපි අතර කවුරු හරි හොරු ඉන්නවා නම් කියවා කියවා ඉන්නේ නැතිව ඒ අයව අල්ලන්න. මොකද ඒ අය ලග අර ලිපි ගොනු 422 පිරවපු කැබ් එක තියෙන්නේ. අපි ගාව එවැනි තොරතුරක් නෑ. එහෙනම් ඒ අයට දඩුවම් කරන්න.   අපි ඒකට කිසිම විරෝධයක් පල කරන්නේ නෑ.  ජන වරම ගත්තේම හොරු අල්ලන්න පොරොන්දු වෙලානෙ.  හැබැයි අපිව බය කරලා නතර කරන්න බැරි නිසා හිරේ දාලා නතර කරන්න බොරු නඩු පටලවන්න හැදුවොත් ඒක ආණ්ඩුවට පරාවලල්ලක් වේවි කියලා දැන්මම අනතුරු ඇඟවීම කරනවා.

Previous Post Next Post