කුමන්ත‍්‍රණකරුවන් මඩකලපුවේ පුරා විද්‍යා පුවරු ගලවනවා.. අපි පොලිසි ගියා..- ඇමති..



මඩකලපු දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා පුවරැ ගලවා දමා රැගෙන යාම  පිළිබඳව ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී. 

නීත්‍යානුකූලව ස්ථාපිත කර තිබූ පුරාවිද්‍යාත්මක සලකුණු පුවරු (දිශාපුවරැ සහ සංඥාපුවරැ) සංවිධානාත්මක පිරිසක් විසින් ගලවා දමා රැගෙන යාම සම්බන්ධයෙන් රජය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවස්තු පිහිටි ස්ථාන සලකුණු කිරීම සඳහා දිශා පුවරැ සහ සංඥා පුවරැ ඉදි කිරීම දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ආ ව්‍යාපෘතියකි. මඩ කලපු දිස්ත්‍රික්කයේ මෙම සලකුණු පුවරු ඉදි කිරීම ආරම්භ කර ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේ තුන්වනදා සිටය.

කෙසේ වෙතත්, නීත්‍යනුකූලව පිහිටුවා තිබූ මෙම රජයේ දේපළ, සංවිධානගත පිරිසක් විසින් ගලවා දමා රැගෙන යාම සිදුවී ඇති බවට වාර්තා වී තිබේ. මෙම ආකාරයේ සිදුවීම් ස්ථාන හතරකදී වාර්තා වී ඇත. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙම පුවරු ඉදි කිරීම සඳහා පළාත් පාලන ආයතනවල කිසිදු අවසරයක් අවශ්‍ය නොවන බවත්, එය දෙපාර්තමේන්තුවේ දීර්ඝකාලීන කටයුත්තක් බවත්ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වහාම ක්‍රියාමාර්ග ගෙන ඇත. අම්පාර සහ මඩ කලපුව භාර සහකාර අධ්‍යක්ෂවරයා සිද්ධියට මැදිහත් වී ඇත. දෙපාර්තමේන්තුව විසින් වලච්චේන පොලීසියට එක් පැමිණිල්ලක් ද, කොක්කඩිච්චෝලේ පොලීසියට තවත් පැමිණිල්ලක් ද ගොනු කර ඇත. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනුවත් කර ඇති අතර, ඇය ක්‍රියාමාර්ග ගෙන වාර්තා කැඳවා තිබේ. පොලිසිය භාර අමාත්‍ය ආනන්ද විජයපාල මහතා ද දැනුවත් කර ඇත.

පොලිස් අමාත්‍ය ආනන්ද විජයපාල මහතා විසින් වහාම නිසි විමර්ශනයක් කර, වගකිව යුතු පුද්ගලයන් නීතිය හමුවට පමුණුවන ලෙසට පොලීසියට උපදෙස් දී ඇත.

මෙම නීති විරෝධී ක්‍රියාවන් පිටුපස පැහැදිලිවම දේශපාලන උවමනාවක් තිබෙන බව රජය තේරුම් ගෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මෙය අහිංසක ප්‍රදේශවාසීන්ගේ උවමනාවක් නොවන බවත්, රජය මෙවැනි කටයුතු ඉතා පැහැදිලිව හඳුනාගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන අතර, එම වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරී තිබේ. බුදු සසුන සහ පුරාවිද්‍යාව ඇතුළු ස්ථාන රැකගැනීම සඳහා රජයක් පත්ව සිටින බව අමාත්‍යවරයා පැහැදිලි කරයි.

මෙම නීති විරෝධී කටයුතුවලින් වැළකී සිටින ලෙසට අමාත්‍යවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. රජය මේ වෙනුවෙන් ඉතාම නිසි පරිදි, විධිමත්ව සහ වේගයෙන් කටයුතු කරන බව සහතික කළේය.

කිසිදු කලබලයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත්, රජය මේවා බලා ගන්නා බවත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. 

ඉතා කෙටි කාලයක් ඇතුළත පොලිස් ක්‍රියාමාර්ග මගින් මෙම නීති විරෝධී කටයුතු කළ අය නීතිය හමුවට පමුණුවන බවට විශ්වාසය පළ කරයි.

මඩ කලපුවේ සිදුවීම දැනටමත් පොලීසිය සහ නීතිය ඉදිරියේ ඇති බවත්, හෙට දවසේදී වගඋත්තරකරුවන් කවුරුන්දැයි රටට හෙළි කිරීමට හැකි වනු ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය

1 Comments

  1. බෞද්දයොන්ව සහ මේ රටේ සින්හල බෞද්ද සන්නාමය නෑතිකරන්න ඩොලර් ඩිනාර් ජෙප්පොන්ගේ පෑලවත්ත ගිනුමට එනකොට ....සහ අන්තවාදී කොතෝලික ක්‍රියාකාරිකයෙකු වන බුද්ද සාසන ඈමති මේවා කරනකොට නිශ්ශබ්දව ඉන්න සින්හල බෞද්ද උන්ට කවදද ඈස් ඈරෙන්නේ .

    ReplyDelete
Previous Post Next Post