ජනපතිට අනුර හා හිට්ලර් අතර සමානකම් හතක්...


 පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තු එන සෑම දවසකම මම පාර්ලිමේන්තුවේ නැතත් මාව මතක් වෙනවා.  විදේශ රටක රැකියාවක නිරත මගේ ආදරණීය බිරිඳටවත් ජනාධිපතිතුමාට තරම් මාව මතක් වෙන්නේ නැතිව ඇති.  පසුගිය වතාවේ පාර්ලිමේන්තු ආවාම අද්මිරාල් උළුගේතැන්න අත්අඩංගුවට ගැනීම වැරදියි කියලා මම පෙන්වා දුන්නු එක එතුමා විවේචනය කලා.  නමුත් අවසානයේ දී මහාධිකරණ විනිසුරුතුමා උළුගේතැන්න මහතා නිදහස් කරමින් නියෝගයේ සඳහන් කලෙත් මම මාධ්‍ය හමුවේ සඳහන් කළ දේමයි.

මෙදා ජනාධිපතිතුමාව මම හිට්ලර්ට සමාන කිරීම ගැන නෝක්කඩුවක් කිව්වා.  ජනාධිපතිතුමනි, මගේ කතාව සම්පූර්ණයෙන් අහන්න.  දෛවයේ සරදමක් වගේ ඔබතුමා සහ හිට්ලර් අතර අපූරු සමානකම් හතක් ඔබ දකිවි.  ඒ වගේම පසුගිය වසර සහ හිට්ලර්ගේ පාලනයේ මුල් වසර තුන අතර අපූරු සමානකම් ගණනාවක් ඔබ දකීවි.  ඔබතුමාගේ ඇඟ තුල 1990 දී නිදා ගත් හිට්ලර් දැන් අවදි වෙමින් සිටිනා බව ඔබ තේරුම් ගත්තොත් ඔබ ගැන ඔබටම බියක් දැනේවි.  ඒ නිසා මතක ඇතිව මගේ කතාව සම්පූර්ණයෙන් අහලා ඒ ගැන කතා කරන්න කියලා ඔබතුමාට යෝජනා කරනවා.

අපේ පාර්ලිමේන්තු පුස්තකාලයට දරුවන් එන්නේ නැති නිසා සුරංගනා කතා අංශයක් පුස්තකාලයේ නෑ.  නමුත් මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනය වගේම පසුගිය අයවැය කතා දෙකත් අයිති වෙන්නේ සුරංගනා කතා කියන වර්ගීකරණයටයි.  ඒ නිසා ජනාධිපතිතුමාගේ අතීත වත්මන් සහ අනාගත අයවැය කතා තියන්න සුරංගනා කතා නමින් පොත් රාක්කයක් වෙන් කළ යුතු යැයි මම පාර්ලිමේන්තු පුස්තකාලයාධිපතිතුමාට යෝජනා කරනවා.  සාමාන්‍යයෙන් සුරංගනා කතා කියන්නේ පුංචි දරුවන් නිදි කර ගන්නනේ.  ජනාධිපතිතුමාගේ අයවැය කතාව අහගෙන ඉන්න විට නින්ද ගිය මන්ත්‍රිවරුන් දැක්කාමත් මේක සුරංගනා කතාවක් කියලා ඔප්පු වෙනවා.  මේ අයවැය කෙතරම් ප්‍රායෝගික නොවන සුරංගනා කතාවක් දැයි තේරුම් යන්නේ 2025 අයවැය කතාව කෙතරම් දුරට ඉටු වුණා ද කියන එක අධ්‍යනය කලාමයි.

2025 වසරේ පාරවල්, වැව් සහ ගොඩනැගිලි ඉදිකිරීම වගේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 1,300ක් වෙන් කරලා තිබුණා.  නමුත් සැප්තැම්බර් 30 වන විටත් ඒ මුදලින් පාවිච්චි කරලා තිබුණේ 25%ක් පමණයි.  වැඩිම වුණොත් වසර අග වන විට ප්‍රාග්ධන වියදම් 50% දක්වා වැඩි වේවි.  ඊට වඩා නම් වැය කරන්න බෑ.  සරලව කිව්වොත් පසුගිය අයවැයෙන් උජාරුවට ඉදිරිපත් කළ අයවැය යෝජනා වලින් 50%යි ඉටු කරලා තිබෙන්නේ.  හරි අඩක්ම බොරු පොරොන්දු විතරයි.  මොනවා ද කලේ ? මොනවා ද නොකලේ? මොනවා ද බාගෙට කලේ කියන එක දැන ගන්න වෙන්නේ 2025 මහ බැංකු වාර්තාව එළි දැක්කුවාට පස්සේ තමයි.

නිශ්චිත වශයෙන් ඉටු කලේ නැති බව තහවුරු වුණු පොරොන්දු 25ක් විතරක් සිහිපත් කරන්නම්.  උපායමාර්ගික හවුල්කාර රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළැඹෙනවා කියලා 2025 අයවැය කතාවේ කිව්වා.  ඒක මේ වසරේ කරන්නේ නැතිව ලැජ්ජා නැතිව නැවත වතාවක් මේ අයවැය කතාවේ දීත් ඒකම කිව්වා.  ඒ වගේ 2025 දී කරනවා කියලා පසුගිය අයවැය කතාවේ දී කියලා ඒක කරන්නේ නැතිව නැවත මේ වතාවේත් කියපු එකම කාරණය මේක නොවේ.  ඒ වගේ ලැයිස්තුවක් තිබෙනවා.

නව රේගු පනතක් සම්මත කරනවා කිව්වා.  පනතක් කෙසේ වෙතත් අඩුම ගණනේ කෙටුම්පතක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ.  ආයෝජකයින්ට One Stop Shop ක්‍රියාත්මක කිරීමට නීති සැකසීම, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය පිළිබඳ නව පනතක්  සම්මත කිරීම සහ රාජ්‍ය ව්‍යවසාය සඳහා පරිපාලක සමාගමක් බිහි කිරීම කියන යෝජනා පසුගිය අයවැයේ තිබිලා ඉටු කරන්නේ නැතිව නැවතත් මේ අයවැයටත් එකතු කරලා තිබෙනවා.  වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු1,700 කරන්න පසුගිය අයවැයෙන් පොරොන්දු වෙලා ඒක කරන්නේ නැතිව මෙවර අයවැයෙන් ඒක රු1,750ක් කරලා තිබෙනවා.

ඒ අපි කිව්වේ 2025 සහ 2026 යන අයවැය කතා දෙකේම තිබුණු පොරොන්දු ගැන.  දැන් අපි බලමු පසුගිය අයවැයේ තිබිලා නොකරම අතුරුදහන් වුණු පොරොන්දු. ද්විත්ව බදුකරණය වැලැක්වීමේ ගිවිසුම් අත්සන් තැබීම, ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීම, බංකොලොත්බාවය පිළිබඳ නව පනතක් ඉදිරිපත් කිරීම, ඩිජිටල් ආර්ථික අධිකාරියක් ස්ථාපිත කිරීම, නව සංවර්ධන බැංකුවක් ඇරඹීම, බුද්ධිමය දේපල ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂා කිරීම සඳහා මැඩ්රිඩ් ප්‍රොටකෝලයට ඇතුළුවීම, නව ඉපැයුම් සඳහා අරමුදල් සැපයීමට නවෝත්පාදන අරමුදලක් ස්ථාපිත කිරීම, වතු රෝහල් දියුණු කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාර ඇරඹීම, ඕටිසම් දරුවන්ට ආදර්ශ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, උසස් පෙල ඉහලින්ම සමත් වන ශිෂ්‍යයින්ට විදෙස් විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව පිරිනැමීම, රුපියල් මිලියන 5,000ක් වටිනා වී ආරක්ෂිත තොගයක් ආණ්ඩුව මගින් පවත්වා ගෙන යෑම, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව යටතේ ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයක් බිහි කිරීම, අවුරුදු සමයේ සහන මිලට වියලි ආහාර ලබා දීම, ශ්‍රිලන්කන් ගුවන් සේවය මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීම, මෝටර් රථ එකලස් කිරීමේ සහ රබර් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කාර්මික ජනපදයක් බිහි කිරීම සහ කිලෝ මීටර් 5,611ක් අලි මිනිස් ගැටුම නතර කරන්න විදුලි වැට ඉදි කිරීම කියන මේ යෝජනා එකක්වත් 2025 වසර තුල ක්‍රියාත්මක වුණේ නෑ.

එතුමා තමන්ට බොරුවක් කියන්න ඕනෑ වුණාම පාර්ලිමේන්තුවට ඇවිත් කතාවක් කරනවා කියලා ඉතාම පැහැදිලිව රටට කියලා තිබෙනවා.  සරලවම කිව්වොත් තමන් පාර්ලිමේන්තුවේ දී කියන්නේ බොරු බව කලින්ම කියලයි තිබෙන්නේ.  ඒ නිසා 2025 අයවැය කතාව බොරු වලින් පිරිලා කියලා ජනාධිපතිතුමාට දොස් කියන්න බෑ.  අපට දුක ඒකට අත්පුඩි තලපු 159 ගැනයි ඒ යෝජනා ගැන කවි ගී ලියපු ඩෝබි බලකාය ගැනයි විතරයි.

2025 අප්‍රේල් මාසයේ දී මෝදි අගමැතිතුමාගේ ලංකා සංචාරයේ දී ඉන්දියාවේ ප්‍රදානයකින් ඉදි වුණු දඹුල්ලේ ශීත ගබඩාව ඔන්න දැන් සම්පූර්ණයි කියලා එතුමා අතින් විවෘත කලා.  අපි අගෝස්තු මාසයේ දී මාධ්‍ය සමගම එතැනට ගිහින් ජනාධිපතිතුමා බොරු කරලා මෝදි අගමැතිතුමාත් රැවැට්ටුවා මේක තවම ඉදි කිරීම් අවසන් කරලා නෑ කියලා රටට පෙන්නුවා.  ඊට පස්සේ අල සහ ලූණු ගොවියන් අස්වැනු විකුණා ගන්න විධියක් නෑ කියලා මැසිවිලි නගන විටත් දඹුල්ලේ ශීතාගාරය සම්පූර්ණ නම් ඒකේ මේ අස්වැන්න ගබඩා කරන්නේ නැත්තේ ඇයි කියලා අපි ප්‍රශ්න කලා.  මෙදා අයවැය කතාවේ දී ශීතාගාරයේ වැඩ සම්පූර්ණ කරන්න රුපියල් මිලියන 250ක් වෙන් කරලා පසුගිය අප්‍රේල් මාසයේ දී අපි වගේම මෝදි අගමැතිතුමාවත් බොරු කරලා ඇන්දුවා කියන එක එතුමා පිලිගැනීම ලොකු දෙයක්.

ආර්ථිකය ගොඩ යන්න වසර දහයක්වත් යාවි කියලා සමහරු කිව්වත් අපි 2019 දී ආර්ථිකය තිබුණු තැනට 2025 දී ගෙනාවා කියලා අයවැය කතාවේ දී ජනාධිපතිතුමා කිව්වා.  ග්‍රීසියට ආර්ථික අර්බූදයෙන් ගොඩ එන්න වසර දහයක් ගත වුණාට අපට ගොඩ යන්න වසර දහයක් යාවි කියලා අපි නම් කිව්වේ නෑ.  එතුමා රට බාර ගන්නකොටත් ආර්ථික වර්ධන වේගය 5%යි.  විදෙස් සංචිත ඩොලර් බිලියන හයයි.  ඒ නිසා එතුමාට තිබුණේ ගොඩට ගෙනා ආර්ථිකය රැක ගන්න මිස වලේ වැටුණු ආර්ථිකය ගොඩ ගන්න නොවේ.  ආණ්ඩුවේ නායකයින්ට මතකය අහිමි වෙන ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වී හිටියත් මේ රටේ ජනතාවගේ මතකය ඉතාම හොඳයි කියන එක සිහිපත් කරනවා.  තමන්ගේ වත්කම් ප්‍රකාශනය සාමවිනිසුරුවරයෙක්ගෙන් අත්සන් කරන්න අමතක වුණු හර්ෂණ නානායක්කාර ඇමතිතුමාට මාලිමාව රට භාර ගන්නා විට ආර්ථික අර්බූදයක් තිබුණා ද නැද්ද කියන එක අමතක වීම ගැන අපි නම් පුදුම වෙන්නේ නෑ.

2019 අග දී පෙට්‍රල් ලීටරයක් මිල රු 137යි.  ඩීසල් 104යි.  විදුලි ඒකකයක් රු2.50යි.  ඒ වගේම ගෑස් සිලින්ඩරේ රුපියල් 1,500යි.  2019 තිබුණු තැනට ආර්ථිකය ගෙනාවා නම් අන්න ඒ මිලට පෙට්‍රල්, ඩීසල්, විදුලිය සහ ගෑස් දෙන්න.  එතකොට ආර්ථිකය 2019 තිබුණු තැනට ගෙන ගියා කියලා අපි පිලිගන්නම්.  නැතිනම් තමන් සිරිතක් ලෙස බොරු කියන්න ඕනෑ වුණාම යන පාර්ලිමේන්තුවට ගිහින් දැන් ආර්ථිකය 2019 තැනට ඇවිත් කියූ පමණින් ඒක පිලිගන්න අපි සූදානම් නෑ.

Previous Post Next Post