ත‍්‍රිකුණාමලේ සම්බෝධි විහාරස්ථානයේ ඇතිවූ තත්වය සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වන වීඩියෝ පටයක් සම්බන්ධව.
ත්‍රීකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ බුදු පිළිමයක් ඉවත් කිරීම හා සම්බන්ධව ඇති වූ නොසන්සුන්තාවයක් දැක්වෙන වීඩීයෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෙම සිදුවීම මුල්කර ගනිමින් යම් අසත්‍ය පුවත් නිර්මාණය වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලැබේ.
2025.11.16 වන දින ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ ගරුතර ස්වාමීන් වහන්සේලා හා දායක පිරිසක් විසින් 2025.11.16 වන දින ත්‍රීකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුල අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ත්‍රීකුණාමලය වරාය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඇත. ඒ අනුව ත්‍රීකුණාමලය කොට්ඨාස භාර නිලධාරීතුමා ඇතුළු පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට ගොස් මෙම අනවසර ඉදිකිරීම නවතා දමන ලෙසද දන්වා ඇතත් ඉදිකිරීම් නොනවත්වා සිදු කර ඇත.
මෙම බුදුපිළිමය තැන්පත් කර ඇති ස්ථානයට යාබද ස්ථානයද, මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදු කිරීම හේතුවෙන් එය ඉවත් කර ගන්නා ලෙසටත්, මෙයට පෙර කොටුව පාර, ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හට පරිසර අමාත්‍යාංශය මඟින් 2025.10.16 වන දින ලිඛිතව දැනුම් දී තිබී ඇති පසුබිමක 2025.11.16 වන දින මෙම ප්‍රශ්නගත ඉදිකිරීම සහ බුදුපිළිමය ස්ථාපිත කිරීම සිදු වී ඇත.
මෙම සිදුවීම මුල් කරගෙන ජාතීන් අතර අසමගියක් ඇති වීමට ඉඩප්‍රස්ථාවක් ඇති බවට ශ්‍රී ලංකා පොලිසියට නිරික්ෂණය වී ඇත. මෙම ප්‍රදේශයේ සියළු ජාතින් නියෝජනය වන ප්‍රදේශයක් වන බැවින්, යම් හෙයකින් මෙම සිදුවීම දඩමීමා කර ගනිමින් යම් කඩාකප්පල්කාරී පුද්ගලයෙකු මෙම බුදු පිළිමයට යම් කිසි හානියක් සිදු කල හොත් එය ප්‍රදේශයේ සාමය සහජීවනය පවත්වාගෙන යාමට විශාල ගැටළුවක් ඇති වීමට තුඩු දිය හැකි බැවින් එම අවස්ථාවේදී බුදු පිළිම වහන්සේ ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ත්‍රීකුණාමලය වරාය පොලිසිය වෙත වැඩම කරවා ගෙන ඒමට කටයුතු කර ඇත.
2025.11.16 වන දින වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුව මඟින් වරාය පොලිසිය වෙත යොමු කරන ලද පැමිනිල්ලට අනුව සිදු කරමින් පවතින අනවසර ඉදි කිරීම් නැවැත්වීමට යාමේදී එම ස්ථානයට රැස්වුනු පිරිස කලහකාරී ලෙස හැසිරීමේදී එය පාලනය කිරීමට පොලිසිය විසින් කටයුතු කල ද කිසිඳු අවස්ථාවක මහා සංඝරත්නයට හෝ මහජනතාවට පහර දීමක් සිදු කර නොමැත.
තවද, මේ වන විට ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් පවතින බැවින් මේ සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම සඳහා අදාළ පාර්ශවයන් එකඟතාවකට පැමිණ ඇති බැවින් මෙසේ පොලිස් ආරක්ෂාව යටතට ගත් බුදු පිළිම වහන්සේ නැවත වැඩම වීම සඳහා ගරුතර මහ සංඝ රත්නයට සහ දායක සභාවට භාර දී ඇත.
2025.11.17 වන අද දින මේ සම්බන්ධයෙන් ත්‍රීකුණාමලය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය
