උතුරු නැගෙනහිරට නව දේශපාලන විසඳුමක්..- ජනපති


 දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් සමඟ ජනාධිපති අනුර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ පැවැත්වින.

පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමු විය යුතු බව රජය විශ්වාස කරන බවත්, ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

උතුරු සහ නැගෙනහිර ජනතාව ප්‍රාදේශීය වශයෙන් දීර්ඝ කාලක සිට මුහුණ දෙන ධීවර සහ ඉඩම් ගැටලු, යටිතල පහසුකම් සහ සංවර්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මන්ත්‍රීවරු මතු කළ ඇතැම් ගැටලුවලට ඉදිරියේදී විසදුම් ලබා දෙන ලෙස එම අවස්ථාවේදීම අදාළ නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

එමෙන්ම, රට තුළ ජාතිවාදී අවස්ථා නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Previous Post Next Post