තමන් දන්නා ප්රධාන පාසලක පහේ පත්තියෙ දරුවෙක් තම පාසල් බෑගයේ මත්කුඩු රැගෙන එන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අනෙක් සිසුන් දැනුම් දීම මත ගුරුවරිය පරීක්ෂා කල අවස්ථාවේ දරුවාගේ බෑගයේ මත්කුඩු තිබූ තිබී ඇතැයිද ඔහු පැවසීය.
එම දරුවාගේ පියා මත්කුඩු විකුණා රිමාන්ඩ් බාරයට පත් වී ඇති අතර මවට ජීවත්වීමට හැකියාවක් නැති නිසා දරුවා හරහා මත්කුඩු අලෙවිකර ඇති බවත් හෙළි වී ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පල කලේ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණේ පැවති උත්සවයකට අද එක්වෙමිනි.
ඒ මහතා එහිදී මෙසේද පැවසුවේය.
"2005 වසරේ ආරම්භ කළ මේ පිරිවෙනේ ඉදිකිරිම ආරම්භ කළ ගොඩනැගිල්ලේ වැඩකටයුතු වසර 20ක් තිස්සේ අවසන් කරන්න බැරි වුණා. අපි කවර රටකද ජීවත් වෙන්නේ? මහා දියුණු තාක්ෂණයක්, කාර්මික ඥානයක් පවතින රටක ගොඩනැගිල්ලක් හදලා විවෘත කරන්න වසර 20ක් යනවා නම් අපි මොන තරම් වියවුලකද ඉන්නේ කියන කරුණ තේරුම් ගන්න පුළුවන්. එදා ඇස්තමේන්තුවත් අද ඇස්තමේන්තුවත් බලන්න. අඩුම තරමින් ඇස්තමේන්තුව පස් ගුණයකින් වැඩි වෙලා ඇති. මේ මහජනතාවගේ බදු මුදල්. 2005 වසරේ වැයකරන මුදලට ප්‍රතිඵල 2025දී නම් ලැබෙන්නේ මහජනතාවගේ මුදල්වලට සාධාරණයක් අප කර නැහැ. රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින ආකාර්යක්ෂමතාව, පැටලිලි සහගත භාවය, ව්‍යාකූලත්වය එකින් එක විසඳීමට අප උත්සාහ ගනිමින් සිටිනවා.
මේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සම්බන්ධයෙන් හිනිදුම සුනිල් අමාත්‍යතුමා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. විශාල ගොඩනැගිල්ලක් හදලා තිබෙනවා, විදුලිය ගන්න බැරිව තිබෙනවා, සමහර තඹ කම්බි කපලා, බිත්ති අවපැහැ ගැන්විලා තිබුණා කිව්වා. අනාගතයේ මේ ප්‍රශ්නයට ලබා දෙන විසඳුම් ගැන සාකච්ඡා කළා. පසුව ඉක්මනින් මුදල් ප්‍රතිපාදන වෙන් කළත් විදුලිය ලබා ගන්න ගැටලුවක් වුණා. තඹ කම්බි කපාගෙන යන තත්ත්වයට පත් වුණේ ඇයි? මේවා කරන්නේ මීට සැතපුම් 50ක් එහා ඉන්න අය නෙමෙයි. මේවා කපාගෙන යන්නෙ මේ අවට ඉන්න අයයි. මේ පිරිවෙනේ ඓතිහාසික උරුමය, කාර්යභාරය, වැදගත්කම පිළිබදව වඩා හොඳින් දන්නෙත් මේ අවට අයයි. හැබැයි මෙවැනි උත්තරීතර තැනක කම්බියක් තියා ගන්න බැරි නම් රට කොතැනද තිබෙන්නේ.
මත්ද්‍රව්‍ය තමයි මේකට ප්‍රධාන හේතුව. කටුනායක අධිවේගී මාර්ගයේ කම්බි ආරක්ෂාවට එස්ටීඑෆ් යොදවලා තිබෙනවා. ගම්වල අලි වැටට දාලා තිබෙන බැටරිය අරගෙන යනවා. එනිසා මේ ගොඩනැගිල්ලේ තිබූ විශාල කම්බි කපාගෙන යෑම පිටුපස තිබෙන මත්උවදුර පිළිබදව අප අවධානය යොමු කළ යුතුයි. රජයක් විදිහට අපට අත්හළ නොහැකි වගකීමක් පැවරී තිබෙනවා.
මේ මත්ද්‍රව්‍යයට එරෙහිව ගෙන යන සටන අප අවසන් කරනවා. මේ මත්ද්‍රව්‍ය අප නොසිතන කේෂ්ත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා මේ උවදුරට එරෙහිව දේශපාලන, මතවාද තිබෙන්න පුළුවන්. එහෙත් මේ ව්‍යසනය නතර කිරීමට සියලු දෙනාම එක් විය යුතුයි. ගම සහ පන්සල අතර තිබෙන ඓතිහාසික සබඳතාව බිඳින්න බැහැ. අපි වැරැද්දක් කළොත් කියන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්ටයි. ගමයි පන්සලයි අතර ආධ්‍යාත්මික සබඳතාවයක්, ඓතිහාසික උරුමයක් තිබෙනවා. භික්ෂුවගේ උරුමය මේ සමාජයට යළි අවශ්‍යයි. මේ රටට ඇති වූ සෑම අනතුරකදීම භික්ෂූන් වහන්සේලා ඉදිරියට ආවා.
උන්වහන්සේලා රටට සහ ජාතිය, මහජනතාවගේ හිතසුව වෙනුවෙන් කොතරම් කාර්යක් කර තිබෙනවාද? ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේලා දෙපතුල් ගෙවෙන තෙක් ගම් නියම්ගම් කරා වැඩම කළා. අපේ රට යළි යථාවත් කිරීමට එවැනි භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීම අවශ්‍යයි. ඒ මැදිහත් වීම සිදු කරන ලෙසට ඔබ වහන්සේලාට මා ආරාධනා කර සිටිනවා."
