ගයාත්‍රි ගීගනආරච්චි
විදේශයන්හි සාම සාධක සහ මානුෂීය කටයුතු මෙන්ම ලැව්ගිනි සහ ගංවතුර ආපදා සහන සේවා සැපයීම දක්වා වෘත්තීයභාවය පිළිබඳ විශිෂ්ට වාර්තාවක් ඇති මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සමග ඇති කර ගත් අවබෝධතා ගිවිසුම මඟින් ඉන්දු පැසිෆික් කලාපයක් දක්වා වන සාමුහික අරමුණු තෘප්තිමත් වන බව ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් අවධාරණය කළාය.
එක්සත් ජනපද වෙරළාරක්ෂක දිස්ත්‍රික්කය, මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර ආරක්ෂක හවුල්කාරීත්වය විධිමත් කරන අවබෝධතා ගිවිසුමකට, ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ආරක්ෂක අමාත්‍යංශයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අවස්ථාවේ තානාපතිවරිය මෙම කරුණු අනාවරණය කළාය.
මෙම ගිවිසුම, එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් වර්ධනය කෙරෙන ගිවිසුමක් බවත්, ආරක්ෂිත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා අවැසි විශ්වාසය මෙමඟින් තවදුරටත් ශක්තිමත් කෙරෙන බවත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් වැඩිදුරටත් පැවසුවාය.
ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග්, මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ සහකාර ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රෙන්ටන් ගිබ්සන් සහ මෙරට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන අය මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම ගිවිසුම හරහා ඉන්දු පැසිෆික් කලාපීය ස්ථාවරත්වය, සමුද්‍රීය ආරක්ෂාව සහ වෘත්තීය හමුදා සහයෝගිතාව සඳහා වන දෙරටෙහිම පවතින අන්‍යොන්‍ය කැපවීම අවධාරණය කෙරෙන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
දෙරට අතර දිගු කාලයක් පුරා අන්‍යොන්‍ය අවබෝධය සහ විශ්වාසය පෝෂණය කරමින්, හමුදා පුහුණුව, ආපදා සහන හා ආරක්ෂක හුවමාරු වැනි ක්ෂේත්‍රයන්හි පැවැති සහයෝගය මෙම ගිවිසුම මඟින් තවදුරටත් තහවුරු වෙන බව මෙහිදී මෙරට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ප්‍රකාශ කළේය.
Aruna
