ලොක්කෙකුට සුපිරි Benz රථයක් ගනී.. පොඩ්ඩන්ට BYD 10ක් ගනී...


යොහාන් භාසුර

ලංකා විදුලි පෞද්ගලික සමාගම (ලෙකෝ) සභාපතිවරයාට රුපියල් කෝටි 8ක් පමණ වටිනවා බෙන්ස් එයූ වර්ගයේ අතිසුඛෝපභෝගී මෝටර් රථයක් ඇණවුම් කර ඇති බවත් එම රථය ඉදිරි දින කීපයේ මෙරටට ළඟා වීමට නියමිත බවත් 'ලෙකෝ' සමාගමේ සේවකයෝ පවසති.

රජයට වැඩි කොටස් ප්‍රතිශතයක් හිමි සමාගමක් වන 'ලෙකෝ සමාගමේ සභාපතිවරයාගේ පාවිච්චියට බෙන්ස්' රථයක් තිබියදී මෙසේ නව 'බෙන්ස් රථයක් ඇණවුම් කිරීම රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් බව කියන එහි සේවකයෝ සමාගමේ සෙසු නිලධාරින්ගේ පාවිච්චියට යැයි පවසමින් BYD වාහන 10කට ආසන්න සංඛ්‍යාවක් ද පසුගියදා මිලදී ගත් බවද සඳහන් කරති.

ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වීමෙන් පසුව ලෙකෝ සභාපති තනතුරට පත්කළ ජානක අලුත්ගේ මහතාගේ කාලයේ මෙම බෙන්ස්' රථය ඇණවුම් කළ බවත් මෙම ඇණවුම් කිරීමේදී වාහන ආනයනය කරන සමාගම සතුව ඇති 'රිදී' (සිල්වර්) පාට බෙන්ස් රථයක් රුපියල් කෝටි 7කට සැපයීමට යෝජනා කළද කළු පාට මෝටර් රථයක්ම ඉල්ලීම නිසා නව රථයක් ආනයනය කිරීමට සිදු වූ බවත් එහි සේවකයෝ පවසති.

මාලිමා ආණ්ඩුව පත්වීමෙන් පසුව 'ලෙකෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතුල සිල්වා මහතා ඉවත්කර ජානක අලුත්ගේ මහතාත් ඉන් පසුව ඔහු ඉවත් කර වර්තමාන සභාපති කනිෂ්ක ජයසේකර මහතාත් පත්කළ අතර ජයසේකර මහතා මීට දින කීපයකට පෙර සභාපති ධුරයේ වැඩ ආරම්භ කළ බවත් සේවකයෝ සඳහන් කරති.

ලෙකෝ සමාගමේ මීට පෙර සිටි සභාපතිවරුන්ගේ පාවිච්චියට 2009 සහ 2013 වසර වල සුපිරි වාහන මිලදී ගෙන තිබූ බව කියන සේවකයන් සඳහන් කරන්නේ එම වාහන වර්තමානයේද වඩාත් හොඳ තත්වයේ පවතින බවයි.

සමාගමේ 'ලෙකෝ ඉහළ කළමනාකාරිත්වයේ පාවිච්චියට ඊට පෙර සිටි සභාපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් මිලදී ගත් අලුත් වාහන ඇති බවත් ඒවා පාවිච්චි නොකර අධික මිල ඇති සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම අනුමත කළ නොහැකි බවත් සේවකයෝ පවසති.

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම මහාචාර්ය උදයංග හේමපාල මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බැවින් ඔහු නිල බලයෙන් ලෙකෝ සමාගමේ අධ්‍යකේෂ ණ්ඩලය නියෝජනය කරයි.

ලෙකෝ සමාගම මේ ආකාරයට මුදල් නාස්ති කළ පසු එම පාඩුව පාරිභෝගික ජනතාවගෙන් අයකර ගන්නා බව කියන එහි සේවකයෝ 'ලෙකෝ සමාගම සපයන සේවාවල ගාස්තු ඉතාම ඉහළ අගයක් ගන්නා බවද සඳහන් කරති.

'ලෙකෝ සමාගමේ සභාපති ඉංජිනේරු කනිෂ්ක ජයසේකර මහතාගෙන් මෙම අති සුඛෝපභෝගී රථය පිළිබඳව කළ වීමසුමකදී ඔහු පැවැසුවේ බෙන්ස් රථයක් ඇණවුම් කර තිබුණ ද එම රථය මේ දක්වා ලැබී නොමැති බවය. එසේම එය සිය කාලයේ ඇණවුම් කළ රථයක් නොවන බවත් තමන් වැඩ භාරගෙන දින කීපයක් පමණක් ගත වී ඇති බවත් ඔහු කීවේය.

එම රථය ගැනීම පිළිබඳව ගැටලුවක් ඇත්නම් එය පාවචිව කිරීමෙන් වැළකෙන බවත් එම රථය නියමිතක්‍රියාපටිපාටියට ගෙන ඇද්දැයි සොයා බලමින් සිටින බවත් ජයසේකර මහතා සඳහන් කළේය.

දන්නා කාලයේ සිටම තමා සුපිරි වාහන පාවිච්චි කළ පුද්ගලයකු වීම නිසා මෙම බෙන්ස් රථය පාවිච්චි කිරීමේ වුවමනාවක් නොමැති බව කී කනිෂ්ක ජයසේකර මහතා එය වුවමනා නම් වෙනත් කෙනෙකුට ලබා දෙන බවද සඳහන් කළේය.

මෙම 'බෙන්ස් රථය පිළිබඳව ලෙකෝ සමාගමේ හිටපු සභාපති ජානක අලුත්ගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ ඒ පිළිබඳව දැන් සිටින නිලධාරීන්ගෙන්ම විමසුව හොත් වඩාත් හොඳ බවය. එම රථය ඇණවුම් කළේ කවුද? ඇණවුම් කිරීමට හේතුව කුමක්ද? වර්තමාන සභාපති නොව එහි සිටින අනෙත් වගකිවයුත්තන්ගෙන් අසාගතයුතු බවද ඔහු කීවේය.

Lankadeepa

Previous Post Next Post