රජයට මේ වන විට රටේ ජනතාව විරුද්ධ වීම නිසා තංගල්ලේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක් සඳහා සෙනඟ ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වූ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.
මේ හේතුවෙන් දකුණු පළාතේ ගාල්ලේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් රැස්වීම් සඳහා සෙනඟ ගෙන්වන ආකාරය පිළිබඳව ලිපියක් නිකුත් කර ඇති බවට ඒ් මහතා විසින් පාර්ලිමේන්තුවේදී චෝදනා කරන ලදී.
මෙම ලිපි හම්බන්තොට, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වෙත යවා ඇති අතර, ඒ ඔස්සේ සෑම පොලිස් ස්ථානයකටම ගෙන්විය යුතු පුද්ගලයින් සංඛ්‍යාවක් නියම කර ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැස්වීමක් සඳහා සෙනඟ ගෙන්වීමට නියම කර තිබූ ආකාරය මන්ත්‍රීවරයා මෙසේ උදාහරණ සහිතව පැහැදිලි කළේය.
මෙය අමුතුම ආකාරයේ වැඩපිළිවෙලක් බවත්, සෑම වසම භාර පොලිස් නිලධාරියෙකුටම තම වසමෙන් පුද්ගලයින් පස් දෙනෙකු බැගින් රැස්වීමට ගෙන ආ යුතු බවට නියෝග කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
තවද, නිලධාරීන් තම කොටස ගෙන ආවේද යන්න ලිවීමට චෙක් පොයින්ට්වල වෙනම නිලධාරීන් පත් කර ඇති බවටත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ඔහු කියා සිටියේ මෙම පොලිස් නිලධාරීන් දේශපාලඥයන්ට 'කඩේ යෑම' සහ රැස්වීම් සඳහා සෙනඟ ඇදීම පිළිබඳව කලකිරීමෙන් සිටින බවයි.
මන්ත්‍රීවරයා විසින් පොලිස් අමාත්‍යවරයාට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාට මෙම චෝදනාව බොරු බව ඔප්පු කරන ලෙසට අභියෝග කරන අතර, එසේ කළහොත් විනාඩි පහක් ඇතුළත ලිඛිත සාක්ෂි එළියට දමන බවට ප්‍රකාශ කළේය.
