මළ සිරුරක් නගරය මැද තබාගෙන විරෝධතා...

රිය අනතුරකින් මිය ගිය තරුණයෙකුගේ සිරුරක් තලවකැලේ නගර මධ්‍යයේ තබා රිය අනතුර සිදු කල ඇප මත මුදාහැර ඇති රියදුරු යලිත් අත්අඩංගුවට ගන්නා ලෙස මිය ගිය තරුණයාගේ ඥාතීන් සහ හිතවතුන් එක්ව (01) දින රාත්‍රියේ සිදු කල උද්ගෝෂනය හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (01) දින රාත්‍රියේ 7:30 සිට 8:00 දක්වා ඇන හිට තිබුණි.

ඉකුත් (20) දින දීපාවලී උදාවත් සමග තලවකැලේ නගර මධ්‍යයේ මිය ගිය තරුණයා සහ ඔහුගේ හිතවතෙකු විසින් රතිඤ්ඤා දල්වමින් සිටියදී තලවකැලේ ග්‍රෙඩ් වෙස්ටන් සිට තලවකැලේ නගරය දක්වා පැමිණි බොලරෝ ලොරි රථයකට එම තරුණයන් දෙදෙනා යට වි බරපතල ලෙස තුවාල ලැබීමෙන් අනතුරුව තුවාලකරුවන් දෙදෙනා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර බිමත්ව රිය අනතුර සිදු කල බොලරෝ රථයේ රියදුරාව සැකපිට තලවකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරු දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව සැකකරුව දැඩි ඇප කොන්දේසිමත සැකකරු මුදාහැර තිබුණි.

අනතුරින් මිය ගොස් ඇතිතේ තලවකැලේ සෙන් ඇන්ඩෘස් වත්තේ සිටි සෙල්වකුමාර් සෙවනායගම් පුෂ්පකුමාර නැමති 28 හැවිරිදි තරුණයෙකි.

එම තරුණයා පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී මෙම අනතුරට පත් වී ඇත.

තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා උද්ගෝෂකයන් හමුවේ කියා සිටියේ ඇප මත මුදාහැර ඇති සැකකාර රියදුරා යලිත් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි.

පොලිස් ස්ථානාධිපතිවරයා කල එම ප්‍රකාශයත් සමග උද්ගෝෂනය නතර කර හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට රාත්‍රි 8:00 පමණ වන විට ඉඩ ලබාදුණි.

මිය ගිය තරුණයාගේ සිරුර ඔහු පදිංචිව සිටි නිවසේ තැම්පත් කර ඇති අතර, අවසන් කටයුතු එම වතුයායේ පොදු සුසාන භූමියේ සිදු කරන බව ඥාතීන් කියා සිටියි.

රංජිත් රාජපක්ෂ 

Previous Post Next Post