Human Immunoglobulin එන්නත් ගත් දෙදෙනෙකු මරුට...


ඖෂධ භාවිතයේදී සිදුවූ මරණ සහ සංකූලතා හේතුවෙන් රට තුළ උද්ගතව ඇති අර්බුදය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය යටතේ අදහස් ඉදිරිපත් කළේය.

පසුගිය ආණ්ඩුව බලයෙන් ඉවත් වීමට හේතුවක් බවට පත් වූ human immunoglobulin ඖෂධ ගැටලුව, දැන් නැවත වත්මන් ආණ්ඩුවට පැමිණ ඇති අර්බුදයක් බවට පත්ව තිබෙන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවලට අනුව, 2024 වසරේදී human immunoglobulin ඖෂධ  මරණ වාර්තා වී තිබේ. ත්‍රිකුණාමලයේදී එක් අයෙකු මිය ගිය බවත්, තවත් කිහිප දෙනෙකුට සංකූලතා ඇති වූ බවත් වාර්තා වී ඇත.

මෙම තත්ත්වය සම්බන්ධව, අහිතකර ඖෂධ හේතුවෙන් පරීක්ෂණ අවසන් වන තුරු නිෂ්පාදනය ඉවත් කර ගන්නා ලෙසට, වෙළෙඳපොළ බලයලත් හිමිකරු ට ලිපි මගින් දැනුම් දී තිබේ. 2024 ඔක්තෝබර් 18 වන දින, බැක්ටීරියා එන්ඩොටොක්සින් පරීක්ෂණය සහ අංශු පරීක්ෂණය යන පරීක්ෂණවලට අනුකූල වීමට අපොහොසත් වීම හේතුවෙන් ඖෂධය වහාම ඉවත් කර ගන්නා ලෙසට නැවත දැනුම් දී ඇත. 

මෙම ඖෂධය බ්‍රිතාන්‍ය ඖෂධ සංග්‍රහයේ (British Pharmacopoeia - BP) ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවට අවශ්‍යතාව තිබූ නමුත්, එම තත්ත්වය නොතිබූ බවට චෝදනා එල්ල විය.

මෙම ක්‍රියාදාමය සිදුවෙමින් තිබියදී දෙදෙනෙකු මිය ගිය බව ජයසේකර මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. මියගිය පුද්ගලයන් වන්නේ, කේ. ඩී. සුජීව (අවුරුදු 58, ගම්පහ පදිංචි) – 2025/06 දින කොළඹ උතුරු ශික්ෂණ රෝහලේදී මිය ගොස් ඇත. ජී. ජී. නන්දසිංහ (අවුරුදු 69, මහනුවර පදිංචි) – මහනුවර රෝහලේදී මිය ගොස් ඇත.

2025 ජනවාරි 12 දින සෆරෙක් කමිටුවේ රැස්වීමකදී, නිෂ්පාදකයාගෙන් ලැබුණු අමතර ලියකියවිලි සමාලෝචනය කිරීමටත්, තායිලන්තය, බංග්ලාදේශය සහ සිංගප්පූරුව යන රටවල WHO පූර්ව සුදුසුකම් ලත් රසායනාගාරවලින් පරීක්ෂණ වාර්තා ලබා ගැනීමටත් තීරණය කර ඇත. නමුත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, එම තීරණය සිද්ධ නොවූ බවයි.

තායිලන්තය, සිංගප්පූරුව හෝ බංග්ලාදේශයෙන් පරීක්ෂණ වාර්තා ලබා ගැනීම වෙනුවට, ඉන්දියාවේ මධ්‍ය ඖෂධ තත්ත්ව පාලනායතනය මගින් වාර්තා ලබාගෙන, ඖෂධය භාවිතයට ගන්නා ලෙසට තීරණය කර ඇත.

ආරක්ෂාව සහ අවධානයකින් යුත් උපකමිටුව මගින්, මුලින් මෙම ඖෂධය භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දුන්නද, පසුව කරන ලද පරීක්ෂණවලදී එම ඖෂධය නියම ප්‍රමිතියෙන් යුක්ත බවට තීරණය කර ඇති බව වාර්තා විය.

මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, "කොහෙන්ද නිති ප්‍රමිතියෙන් යුක්තයි කියලා කිව්වේ" යනුවෙනි. බ්‍රිතාන්‍ය ඖෂධ සංග්‍රහයේ (BP) ප්‍රමිතිය යටතේ පරීක්ෂා කළ යුතු ඖෂධයක්, ඉන්දියානු ඖෂධ සංග්‍රහයේ (IP) ප්‍රමිතිය යටතේ පරීක්ෂා කර තිබෙන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කළේය.

මේ රටේ දෙදෙනෙක් මිය ගොස්, විශාල ප්‍රමාණයකට සංකූලතා ඇති වී තිබියදීත්, මෙම ඖෂධය නැවත පාවිච්චියට ගැනීමට තීරණය කිරීම බරපතල තත්ත්වයක් බව ජයසේකර මහතා පෙන්වා දුන්නේය. ඔහු සඳහන් කළේ, අතීතයේ කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ කාලයේදී සංකූලතා ඇති වුවද මිනිසුන් මිය නොගිය බවයි.

ජයසේකර මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ, මෙම සමස්ත සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂණයක් පවත්වන ලෙසත්, වැරදි නිෂ්පාදනයක් ලියාපදිංචි කළේ කවුරුන්ද සහ නැවත භාවිතයට ගත් ඖෂධ මොනවාද යන්න පිළිබඳව රටට හෙළිදරව් කරන ලෙසත්ය. මෙම තත්ත්වයට ඖෂධ නියාමන අධිකාරිය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවට ඔහු චෝදනා කළේය



Previous Post Next Post