පොලිසිය U tube නාලිකාවක් හා ගැටේ...


පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

TOP NEWS වරෙන්තුව යනුවෙන් විකාශය කරනු ලබන YOU TUBE නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ පුවතක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම.

විශේෂ කාර්ය බලකායට මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු සපයන තොරතුරු කරුවෙකු වන පුද්ගලයෙකුට එරාවූර් පොලිසිය මඟින් පහර දී අත්අඩංගුවට ගෙන අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටි බවට චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවට TOP NEWS වරෙන්තුව YOU TUBE නාලිකාව ඔස්සේ එම පුද්ගලයාගේ මව යැයි සඳහන් කරන කාන්තාවක් විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙම වීඩියෝව නිරීක්ෂණය වීමෙන් පසු අදාල සිද්ධිය සම්බන්ධයෙන් නැගෙනහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් විමර්ශනයක් සිදු කර නිවැරදි තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කර ඇති අතර එම වාර්තාවට අනුව සිද්ධියට අදාල නිවැරදි තත්ත්වය පහත පරිදි වේ.

මෙම වීඩියෝව මඟින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට තොරතුරු ලබා දීම සිදු කරන බවට සඳහන් අය වයස අවුරුදු 24ක් වන එරාවූර් පොලිස් වසමේ අයියන්කේනි චෙන්කල්අඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා නිතර ප්‍රචණ්ඩත්වයෙන් හැසිරෙන අයෙකු බවටත් මොහු තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගෙන සංවිධානාත්මක ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානි පමුණුවමින් පීඩාකාරී ලෙස හැසිරෙන පුද්ගලයෙකු බවටත් කරුණු අනාවරණය වී ඇති බවට වාර්තා කර ඇත. මේ වන විටද මොහුට එරෙහිව මත්ද්‍රව්‍ය සන්තකයේ තිබීම, බරපතල තුවාල සිදු කිරීම්, බීමත් රිය පැදවීම්, දේපළ සොරකම් කිරීම් හා පොලිස් නිලධාරියෙකුට පහර දීමක් සම්බන්ධයෙන් ද විභාග වන සහ විභාග වීමෙන් පසු වැරදිකරු වූ සිද්ධීන් කිහිපයක් ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තවද මෙම වීඩියෝවට අදාලව මෙම පුද්ගලයාට යම් පිරිසක් පහර දෙන සිදුවීම මොහු විසින් යම් පුද්ගලයෙකුට පෙර සිදු කරනු ලැබූ පහර දීමක් සහ අමානුෂික ක්‍රියාවක් හේතු කොට ගෙන එයට එරෙහිව එම පහර කෑමට ලක් වූ අයවළුන්ගේ පාර්ශවයක් විසින් අදාල මෙම පුද්ගලයාට පහර දෙන අවස්ථාවක් ඇතුළත් දර්ශනයක් බවට අනාවරණය වී ඇති බවත් එය මත්ද්‍රව්‍ය ඔත්තුවක් ලබා දීම හේතුවෙන් එකී පුද්ගලයාට සිදු කල පහර දීමක් නොවන බවට ද වාර්තා කර ඇත.

යම් පුද්ගලයෙකු පොලිසියට යම් තොරතුරක් ලබා දී මත්ද්‍රව්‍ය හෝ අපරාධ මැඩ පැවැත්වීමට ලබා දෙනු ලබන සහාය පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය අගය කරනු ලබන නමුත් එසේ තොරතුරු ලබා දෙන තොරතුරුකරුවන් තොරතුරු ලබා දෙන මුවාවෙන් යම් අපරාධ හා දූෂිතක්‍රියාවන් වලට සම්බන්ධ වුවහොත් ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රි ලංකා පොලිසියට බැහැර කල නොහැකි වගකීමකි.

ඒ අනුව TOP NEWS වරෙන්තුව YOU TUBE නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ අදාල වීඩියෝ පටයෙහි දැක්වෙන පරිදි එරාවූර් පොලිස් ස්ථානයට විරුද්ධව සිදු කරනු ලබන චෝදනා බැහැර කරන අතර ශ්‍රී ලංකා පොලීසියේ කීර්ති නාමයට හානි වන ආකාරයට පලකරන ලද අදාල වීඩියෝව සම්බන්ධයෙන් වූ නිවැරදි තත්ත්වය ඉහත පරිදි ඔබ වෙත යොමු කරමි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය.


Previous Post Next Post