රජය රුපියල් අතිරික්තයක් පෙන්වන්නේ වියදම් කිරීමට නොදන්නා නිසා මිස ආර්ථිකය කළමනාකරණය කළ නිසා නොවන බවත්, ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී ‘කටින් බතල හිටවමින්’ ජනතාව මුළා කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
බත්තරමුල්ල සිය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
පළමු කරුණ තමයි දැනටමත් බලවත් ලෙස ආන්දෝලනයට තුඩු දී තිබෙන “ඉන්දියානු බාල ඖෂධ මාෆියාවට” අපේ රටේ රෝගීන් බිලිදීමේ ව්‍යාපාරය අද ඉතා බලවත් ලෙස අපි හමුවේ ඉතා අභියෝගාත්මකව මතු වෙලා තියෙන කාරණයක්. ඔබ කවුරුත් දන්නවා මීට කලින්, ඔය කියන වසර 76 ඇතුළත තිබුණේ, අපේ රටේ පෞද්ගලික අංශය වේවා රජයේ රෝහල් පද්ධතිය තුළ වේවා පාවිච්චි කරන්න පුළුවන් ඖෂධවල ප්‍රමිතිය තිබුණේ “බ්‍රිතාන්‍ය (British Standard) හෝ ඊට ඉහළ ප්‍රමිතියක්.”
නමුත් ඒ වසර 76ක පාලනය ඇතුළත කවදාකවත් ඒ ප්‍රමිතිය ඊට වඩා පල්ලෙහාට ගෙනාවේ නැහැ. ඒ ප්‍රමිතිය ඊට වඩා පල්ලෙහාට වට්ටන්න කටයුතු කළේ නැහැ. මොන අර්බුද තිබුණත්, මොන අමාරුකම්, මොන දුෂ්කරතා තිබුණත් ඒ 76 වසරක පාලනය ඇතුළේ ඔය බ්‍රිතාන්‍ය ප්‍රමිතිය හෝ ඊට ඉහළ ප්‍රමිතිය කියන එකෙන් පල්ලෙහාට එන්න ශ්‍රී ලංකාව කටයුතු කළේ නැහැ.
මීට පෙර සමහර අවස්ථාවලත් අපේ රටට ගෙනාපු ඖෂධ පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රශ්න මතු වුණා. ඒ හැම වෙලේම මතු වුණේ “බ්‍රිතාන්‍ය ප්‍රමිතියට” අනුව ඒ ඖෂධය තිබෙනව ද? නැද්ද? කියන ප්‍රශ්නය. එහෙම නැත්නම් ඒ ඖෂධය බ්‍රිතාන්‍යයේ ප්‍රමිතියට අනුව නැද්ද තියෙනවාද? ඕක තමයි අපි සලකා බලපු කාරණය. එතකොට ඒක ඉන්දියානු ප්‍රමිතියට තිබ්බත් අපි පිළිගත්තෙ වරදක් හැටියට. දැන් වෙලා තියෙන්නේ වරද ආයතනගත කරලා. එහෙම නැත්නම් අපද්‍රව්‍යවලින් පිරිච්ච බාල ඖෂධ ගෙන්වීම කලින් වරදක්. දැන් ඒක ආයතනගත කරපු ක්‍රියාවක්. දැන් ඒක වරදක් හැටියට සැලකෙන්නේ නැහැ.
ඒ නිසා අපි ඉතා ඕනෑකමින් ආණ්ඩුවට කියනවා. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ “ඉන්දියානු ෆාමකෝපියාවෙන් ඉවත් වෙන්න.” හොර රහසේ ගත්තු ඒ තීරණය අකුළා ගන්න. ඒක හකුළා ගන්නකන් බාල ඖෂධවලට පමණක් වෙළෙඳපොළ ඒකාධිකාරයක් හදන්න දාපු “පාලන මිල (Floor Price) වහාම ඉවත් කරන්න.”
නුවන් කොඩිකාර
