අර්චුනා ඝාතන තැතක්..

 


යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා වෙත දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල වී ඇති බවට තෙල්ලිපලෙයි පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. 

වලිකාමම් දකුණ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු සහ තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් තමාට මෙම තර්ජන සිදු කළ බව මන්ත්‍රීවරයා සිය ප්‍රකාශය මගින් පෙන්වා දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ පසුගිය 24 වැනිදා 119 හදිසි ඇමතුම් ඒකකය හරහා තෙල්ලිපලෙයි පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුවය. 

දුරකථන අංක දෙකක් භාවිත කරමින් කිසියම් පිරිසක් මන්ත්‍රීවරයාට මරණ තර්ජනය කරන බවට එහිදී වාර්තා විය. 

ඒ අනුව පොලිස් නිලධාරීන් මල්ලාකම්, කන්කසන්තුරෙයි මාර්ගයේ පිහිටි මන්ත්‍රීවරයාගේ පක්ෂ කාර්යාලය වෙත ගිය ද, එහි කිසිවෙකුත් රැඳී සිට නැත.

මන්ත්‍රීවරයා කොඩිකාමම්, මීසාලේ උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු හෝ ඔහුගේ ඥාතීන් එම කාර්යාලයේ පදිංචිව නොමැති බව පොලිසිය පවසයි. 

පොලිස් ස්ථානාධිපතිවරයා මන්ත්‍රීවරයාගේ පෞද්ගලික දුරකථනයට ඇමතුමක් ලබා දී කළ විමසීමකදී, ඔහු ඒ වන විට කොළඹ සිට යාපනය බලා පැමිණෙමින් සිටින බවත් පසුව පොලිසියට පැමිණ සාක්ෂි ලබා දෙන බවත් ප්‍රකාශ කර ඇත. 

පසුව පොලිස් ස්ථානය වෙත පැමිණි මන්ත්‍රීවරයා, තමන්ට තර්ජනය කළ මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ද ඇතුළත්ව විධිමත් ප්‍රකාශයක් ලබා දී තිබේ. 

ආරක්ෂක පියවරක් ලෙස ඔහුගේ පක්ෂ කාර්යාලයට මේ වන විට පොලිස් ආරක්ෂාව සපයා ඇත.

Previous Post Next Post