නව වසර මෙන්ම ඉදිරි සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයන්හිදී ද පොලිස්පතිවරයා ඇතුළු කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වෙනුවෙන් තුටු පඬුරු (Hampers) පිරිනැමීමෙන් වළකින ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම නිලධාරීන්ට උපදෙස් දී ඇත. විශේෂ චක්‍රලේඛයක් මගින් මෙම නියෝගය දැනුම් දී තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා වූ සමස්ත නිලධාරී මණ්ඩලයටත්, පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන සිවිල් කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු පිරිසටත් මෙම නියෝගය එකසේ බලපැවැත්වේ.
කිසිදු නිලධාරියෙකු උත්සව නිමිත්තෙන් තෑගි බෝග පිරිනැමීම නොකළ යුතු අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එවැනි උපහාර තෑගි භාරගැනීමෙන් වැළකී සිටිය යුතු බවට ද අවධාරණය කර ඇත.
යම් නිලධාරියෙකුට තම ඉහළ නිලධාරියෙකු වෙත සුබ පතන්නට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා භෞතිකව පෙනී සිටීම අත්‍යවශ්‍ය නොවේ. ඒ වෙනුවට දුරකතන ඇමතුමක් ලබාදීම හෝ වට්ස්ඇප් වැනි තාක්ෂණික මාධ්‍ය ඔස්සේ කෙටි පණිවුඩයක් යොමු කිරීම ප්‍රමාණවත් බව පොලිස්පතිවරයා පෙන්වා දෙයි.
මෙම උපදෙස් මාලාව තමන් යටතේ සිටින සියලුම සේවකයින් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසත්, පනවා ඇති රීතීන් උල්ලංඝනය කරන පිරිස් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අධීක්ෂණ නිලධාරීන් වගබලා ගත යුතු බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.
මෙම නියෝගය පොලිස් සේවයේ නියුතු සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද අදාළ වන පරිදි ක්‍රියාත්මක වේ.

Traffic duty kiyanne avurudu thamai.
ReplyDelete