පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
පසුගිය සති දෙකේ විවිධ සංවිධාන විසි ගණනක් මාස අටක් පුරා විගණකාධිපතිවරයෙක් පත් කර ගැනීමට ජනාධිපති අනුර දිසානායක මැතිතුමා අසමත් වීම පිළිබඳ ප්‍රශ්න කර තිබුණා. සිය කණස්සල්ල පළ කර තිබුණා. මේ ප්‍රශ්න කිරීම් මීට කලින් සිදුවුණා නම් ආණ්ඩුවෙන් ස්වාධීන පත් කිරීමක් බලාපොරොත්තු වෙන්න තිබුණා. ඒ සඳහා තිබුණු අවස්ථාව ජනවාරි 2දා අවසන් වෙනවා. මොකද ව්‍යවස්ථා සභාවේ සිටින සිවිල් සමාජ නියෝජිතයින් තුන් දෙනාගේ තුන් අවුරුදු නිල කාලය ලබන සතියේ අවසන් වෙනවා. 2025 ජූලි 14 දින අපි මාධ්‍ය හමුවක් පවත්වලා ජනාධිපතිවරයා විගණකාධිපතිවරයෙකු පත් නොකර කල් මරන්නේ ජනවාරි මාසය උදා වන තුරුයි කියලා මේ කාරණය හෙලිදරව් කලා.
මාලිමා ආණ්ඩුව ස්වාධීන ආයතන වලටත් පත් කරන්නේ එක්කෝ කැළණි සගයෝ. නැතිනම් මාලිමා සහෝදරවරු. ජනාධිපති, අගමැති සහ සභානායක එකට එකතු වෙලා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පත් කර ගත් දූෂිත මෙහෙයුම අපි රටටම හෙලි කලානෙ. එහෙම තමයි ස්වාධීන පත්වීමේ වෙන්නේ. ඒ නිසා ව්‍යවස්ථා සභාවට පත් කරන නියෝජිතයින් ස්වාධීනව කටයුතු කරාවි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි.
ව්‍යවස්ථා සභාවේ නියෝජිතයින් ගණන දහයයි. කතානායක, අගමැති සහ විපක්ෂ නායක නිල බලයෙන් පත් වෙනවා. බිමල් රත්නායක සභානායකතුමා ජනාධිපති නියෝජිතයා ලෙස ඉන්නවා. ආදම් බාවා මන්ත්‍රිතුමා අගමැතිනිගේ නිර්දේශය මත පත් වී තිබෙනවා. අජිත් පෙර්රා මන්ත්‍රිතුමා විපක්ෂ නායකගේ නිර්දේශය මත පත් වී තිබෙනවා. සිවඥානම් ශ්‍රිදරන් මන්ත්‍රිතුමා සුළු පක්ෂ නියෝජිතයා ලෙස පත් වී තිබෙනවා. ඉතිරි තුන් දෙනා පත් කරන්නේ සිවිල් සමාජය වෙනුවෙන්.
වර්තමාන ව්‍යවස්ථා සභාව තුල ඉන්න සිවිල් සමාජ නියෝජිතයින් තමයි විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මැතිනිය, මහචාර්ය දිනූෂා සමරනායක මැතිනිය සහ ආචාර්ය ප්‍රතාබ් රාමනුජන් මැතිතුමා. මේ තිදෙනා තමයි පසුගිය වසර තුනේ ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වය රැක්කේ. සාමාන්‍යයෙන් හරිනි අමරසූරිය, බිමල් රත්නායක, ආදම් බාවා සහ ශ්‍රීදරන් යන හතර දෙනා ජනපතිගේ නිර්දේශයට පක්ෂව තමයි කටයුතු කරන්නේ. සජිත් ප්‍රේමදාස සහ අජිත් පෙරේරා යන දෙදෙනා බොහෝවිට ජනපතිගේ නිර්දේශයට විරුද්ධව තමයි කටයුතු කරන්නේ. කතානායකට ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ පක්ෂව සහ විරුද්ධව සමානව ඡන්දය භාවිතා කර තිබෙන අවස්ථාවක පමණයි. ඒ නිසා සිවිල් නියෝජිත තුන් දෙනාගේ මතය අනුව තමයි යම් නිර්දේශිත නාමයක් අනුමත වෙනවා ද නැද්ද යන එක තීරණය වෙන්නේ.
ජනාධිපතිවරයා අගවිනිසුරුගේ විරෝධය ද නොතකා දූෂිත විනිසුරුවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමට උත්සාහ දරපු වෙලාවේ මේ නියෝජිතයින් ඒකට විරුද්ධ වුණු නිසා තමයි ඒ පත්වීම නවත්වා ගන්න පුළුවන් වුණේ. විගණකාධිපති තනතුරට සැබෑ සුදුස්සා වෙනුවට කැළණි සගයින් සහ මාලිමා සහෝදරවරුන් පත් කිරීමට ජනාධිපති දැරූ උත්සාහය පරාජය වුණේ මේ විරුවන් තිදෙනාට පිං සිදු වෙන්නයි. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සැබෑ සුදුස්සා වන මාධව තෙන්නකෝන් වෙනුවට රංග දිසානායක පත් කර ගැනීමට පුළුවන් වුණේ සභානායකවරයා තමන්ව බොරු කියලා නොමග යැවූ නිසා කියලා මේ අය ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශ ලබා දීලා දැනුම් දුන්නා.
වත්මන් ආණ්ඩුවේ විතරක් නොවේ තමන්ව පත් කළ පසුගිය ආණ්ඩුවේ පවා අවස්ථා ගණනාවක දී තමන්ට එකඟ වෙන්න බැරි නිර්දේශ ප්‍රතික්ෂේප කරන්න මේ නියෝජිතයින් තුන්දෙනාට කොන්ද තිබුණා. ඔවුන් තනතුරින් සමු ගන්නා මොහොතේ ඔවුන්ගේ අදීනත්වයට ජාතියේ ප්‍රණාමය ඔවුන්ට පුද කළ යුතුයි.
2026 ජනවාරි මාසයේ දී ව්‍යවස්ථා සභාවේ සාමාජික සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනාගේ ධූර කාලය අවසන් වෙනවා. මේ තිදෙනා අගමැති සහ විපක්ෂ නායකගේ එකඟතාවයෙන් පත් කළ යුතුයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණත් දෙදෙනාම එකඟ වෙන තුන්දෙනෙකු සොයා ගැනීම දුෂ්කර වී තිබෙනවා. ඒ නිසා අවසානයේ දී සිදුවුණේ අගමැති එක් අයෙකුත් විපක්ෂ නායක එක් අයෙකුත් නම් කරලා එක් අයෙක් විතරක් දෙදෙනාගේම එකඟත්වයෙන් නම් කිරීමයි. ඒ නිසා අගමැති නම් කරන පුද්ගලයා මාලිමාවේ හෙංචයියෙක් වුණොත් ව්‍යවස්ථා සභාවේ බහුතරය ආණ්ඩුවට ලැබිලා ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින්, විනිසුරුවරුන්, පොලිස්පති, නීතිපති විගණකාධිපති වගේ වැදගත් තනතුරු වලට මාලිමා හෙංචයියන් පත් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.
ඔන්න ඔය කාරණය ජනාධිපතිතුමා දැන සිටි නිසායි විගණකාධිපති පත් කිරීම ජනවාරි උදා වන තුරු කල් මැරුවේ. අපි 2025 ජූලි 14 තරම් ඈතක මේ කුමන්ත්‍රණය රටට හෙලි කරත් ජනවාරි උදා වන තුරුම විගණකාධිපතිවරයා පත් කරන්න ආණ්ඩුවට පීඩනයක් එල්ල කරන්න විපක්ෂය සහ සිවිල් සමාජ ක්‍රියාකාරින් අසමත් වුණා.
ආණ්ඩුවක වංචා දූෂණ හෙලිදරව් කරගෙන පාර්ලිමේන්තුවට වාර්තා කරන්නේ විගණකාධිපති. ලංකා ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් තමන්ගේ හෙංචයියෙක් විගණකාධිපති කර ගන්න මෙහෙම උත්සාහ කරලා නෑ. ලංකා ඉතිහාසයේ බිහි වුණු දූෂිතම ජනාධිපති අනුර දිසානායකයි කියන එකට මීටත් වඩා නිදසුන් ඕනෑ නෑ. තමන්ට වඩා දූෂිත ජනාධිපතිවරයෙකු සිටියා නම් ඒ කවුදැයි නම් කරන්න කියා අපි අනුර දිසානායක මැතිතුමාට අභියෝග කරනවා.
