බාල ඖෂධ ගැන කතා කළහොත් අත්අඩංගුවට ගන්නවා යයි CID කැදවා තර්ජනය කලා..

 


පසුගිය වසර කිහිපය තුළ අවස්ථා 23 කට ආසන්න ප්‍රමාණයකදී, විවිධ කාණ්ඩ රැසක් තත්ත්වයෙන් බාල බවට නිරීක්ෂණය වූ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත 'Co-Amoxiclav Injection' ඖෂධය සඳහා ලබා දී ඇති අවසරය වර්තමාන ඖෂධ නියාමන අධිකාරිය මගින් අවස්ථා කිහිපයකදී නැවත කැඳවා ඇති බව වෛද්‍ය සැපයුම් දත්ත පද්ධතිය මගින් තහවුරු වන බව ‘මගෙන් රටට’ සිවිල් ව්‍යාපාරයේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් තමන් ඖෂධ නියාමන අධිකාරියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළද, අදාළ ඖෂධය පිළිබඳව කතා කළහොත් තමන්ව අත්අඩංගුවට ගන්නා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තර්ජනය කළ බවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී මෙම ඖෂධය ලබාදීම හේතුවෙන් රෝගී මරණ සිදුවූ බවට අවසන් වරට නිකුත් වූ විගණන වාර්තාවලින් ද ප්‍රශ්න කර තිබුණි. එවැනි පසුබිමක, තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර තිබූ එම ඖෂධයේ කාණ්ඩ රැසක් වර්තමාන ඖෂධ නියාමන අධිකාරිය මගින් වරින් වර නැවත කැඳවා ඇති බව අනාවරණය වේ.

පසුගියදා අනුරාධපුර හුරුළුවැව රෝහලේදී සිදු වූ මවකගේ මරණය සහ කොළඹ ජාතික රෝහලේ මතු වූ ගැටලුකාරී තත්ත්වයන් සඳහා මෙම ඖෂධය සෘජුව බලපා ඇත්දැයි සැකයක් මතුවන බවද මහවත්ත මහතා එහිදී පෙන්වා දුන්නේය. මියගිය කාන්තාවගේ සැමියා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ, හුරුළුවැව ප්‍රාදේශීය රෝහලේදී යම් ඖෂධයක් ලබාදීමෙන් අනතුරුව තම බිරිඳගේ තත්ත්වය උත්සන්න වූ බවත්, පසුව අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මියගිය බවත්ය. මෙම මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.

සංජය මහවත්ත මහතා පවසන්නේ මෙම ඖෂධය නිසා දිගින් දිගටම සංකූලතා මතු වුවද, එය අඛණ්ඩව භාවිත කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන සභාපතිවරයා ගෙන ඇති තීරණය ප්‍රශ්න සහගත බවයි. මෙවැනි අසාර්ථක ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ මන්දැයි රටට පැහැදිලි කළ යුතු බවත්, කරුණු පෙන්වා දෙන සිවිල් ක්‍රියාකාරීන් මර්දනය කිරීමෙන් සත්‍ය යටපත් කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගියදා කොළඹ ජාතික රෝහල තුළදී ද මෙම ඖෂධයේ එක් කාණ්ඩයක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගැනුණි. හොරණ ප්‍රදේශයේ පිහිටි ඖෂධ නිෂ්පාදන කම්හලක මෙම ඖෂධය නිෂ්පාදනය කරන බව වාර්තා වේ.

2 Comments

  1. This is the same method used by Chinese authorities to silence the whiistle blowers .This Is an indiction that the government probably getting advices from communist China.No governments in the past did these sort of intimidation to individuals and organisations over such issues .The opposition must keep the diplomatic community informed about these unlawful activities

    ReplyDelete
  2. පර ජෙප්පො උතුරු කොරියාවක් කොරල නවත්වන්නෙ මේ රට

    ReplyDelete
Previous Post Next Post