2026 වසර සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ද්‍රවිකෘත පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙට්‍රික් ටොන් 380,000ක් සැපයීමේ ටෙන්ඩරය ස්විට්සර්ලන්තයේ 'ජියෝ ගෑස් ට්‍රේඩින්' (Geogas Trading S.A.) සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
මේ දක්වා වසර 10කට වැඩි කාලයක් මෙරටට ගෑස් සැපයූ ඕමාන් රජයට අයත් 'OQ ට්‍රේඩින්' (OQ Trading) සමාගම අභිබවා මෙම නව කොන්ත්‍රාත්තුව පිරිනමා තිබීම විශේෂත්වයකි. ඕමාන් සමාගම සතු වත්මන් සැපයුම් කොන්ත්‍රාත්තුව මෙම මස අවසානයේදී නිම වීමට නියමිතය.
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් 2024 ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව මෙම ටෙන්ඩරය කැඳවා තිබුණි. ඒ සඳහා ලොව පුරා ගෑස් සැපයුම්කරුවන් 50ත් 60ත් අතර සංඛ්‍යාවකට ආරාධනා කර තිබූ අතර, ඉන් සමාගම් 20ක් ලංසු ලේඛන ලබාගෙන තිබුණි. කෙසේ වෙතත්, අවසන් අදියරේදී ලංසු ඉදිරිපත් කර තිබුණේ සමාගම් 5ක් පමණි.
තාක්ෂණික ඇගයීම් අවසන් වන විට ස්විට්සර්ලන්තයේ 'ජියෝ ගෑස්', ග්‍රීසියේ 'නැෆ්ටෝමාර්' (Naftomar) සහ ඕමානයේ 'OQ ට්‍රේඩින්' යන සමාගම් ත්‍රිත්වය සුදුසුකම් ලබා සිටියේය. මෙහිදී නැව් හිමියන්ගෙන් ලබාගත් තාක්ෂණික සහතික ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම මත නැෆ්ටෝමාර් සමාගම නුසුදුස්සකු කර තිබුණි.
එහෙත්, ජියෝ ගෑස් සමාගම ද අදාළ නැව් හිමිකාරීත්ව සහතික නිසි පරිදි ඉදිරිපත් කර නොමැති පසුබිමක, ඔවුන්ව සුදුසුකම් ලැබූවන් ලෙස තේරීම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර දැඩි විවේචන මතුව ඇත. මෙය ආචාරධර්ම විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවක් බවට ඇතැම් රාජ්‍ය නිලධාරීන් චෝදනා කරති.
මේ පිළිබඳව අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේන්ද්‍ර ගුරුසිංහ මහතා සඳහන් කළේ, ස්ථාවර ඉහළ පෙළේ ප්‍රසම්පාදන කමිටුව විසින් රජයේ ටෙන්ඩර් පටිපාටියට අනුකූලව අවම මිලක් ඉදිරිපත් කළ (Lowest Responsive Bidder) සමාගම ලෙස 'ජියෝ ගෑස්' නිර්දේශ කළ බවයි.
OQ ට්‍රේඩින් සමාගම විසින් මෙම තීරණයට එරෙහිව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට අභියාචනයක් ඉදිරිපත් කළ ද, එය ප්‍රතික්ෂේප වී ඇත. ඒ අනුව, පසුගිය දෙසැම්බර් 02 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් ජියෝ ගෑස් සමාගමට අදාළ ටෙන්ඩරය අනුමත කර තිබේ.
මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 300ක් වටිනා මෙම කොන්ත්‍රාත්තුව සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවූයේ වඩාත් වාසිදායක මිලක් ලබා ගැනීමේ අරමුණින් බවයි. ජියෝ ගෑස් සමාගම ඉදිරිපත් කළ මිල අනෙක් සමාගමට වඩා සුළු ප්‍රමාණයකින් අඩු වූ බැවින්, රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ඉතිරිය වැදගත් වන බව ඔහු පෙන්වා දුන්නේය.
රටේ දෛනික ගෑස් අවශ්‍යතාව සපුරාලීමට අවම වශයෙන් නිරන්තරයෙන් නෞකා හතරක් හෝ ක්‍රියාත්මක විය යුතුව තිබේ. එවැනි සංකීර්ණ සැපයුම් දාමයක් සහ බලශක්ති සුරක්ෂිතතාවක් පවත්වා ගැනීම සඳහා විශ්වාසනීය සැපයුම්කරුවෙකුගේ අවශ්‍යතාව අත්‍යවශ්‍ය වන බව ද මෙහිදී අවධාරණය කර ඇත.
- සන්ඩේ ටයිම්ස් ඇසුරිනි

කොමිස් වලට කෑදරකම නිසාම කරන දෙයක්. ගුණාත්මක බව සහ තත්වයෙන් බාල දේවල් රටට ගෙන එන්න ඉඩදීලා කොමිස් කුට්ටි කඩාගන්න කරන දේවල් මේ ආණ්ඩුව දිගටම කරගෙන යනවා.
ReplyDeleteලාබ බඩුවේ හිලක් ඇත. ලාබ ගෑස් අනතුරුදායකයි. තත්වයෙන් බාල ගෑස් රටට ගෙනල්ලා ඒවා පාවිච්චි කිරීමේදී ගෑස් පිපිරුම් ඇතිවී කෙනෙක් මියගියොත් කවුද වග කියන්නේ
ReplyDelete