පිළිවෙලින් 2024 නොවැම්බර් මස සහ 2025 මැයි, අගෝස්තු යන මාසවලදී මෙම ඖෂධ ඉන්දියාව තුළ නිෂ්පාදනය කොට ඇත. තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ මෙම ඖෂධ කාණ්ඩ හතර පිළිවෙලින් මෙම වසරේ පෙබරවාරි, ජූලි සහ සැප්තැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති බව සඳහන් වේ. මෙම සෑම අවස්ථාවකදීම ඖෂධ කුප්පි 67,600 බැගින් රැගෙන විත් ඇති අතර, ශ්‍රී ලංකාවට එවීමට පෙර මෙම ඖෂධ ඉන්දියානු රසායනාගාර තුළදී පරීක්ෂා කොට ඇති බව ද අදාළ ආයතනය තහවුරු කොට ඇත.
නිර්ණායක දහයක් යටතේ මෙම ඖෂධ පරීක්ෂා කොට ඇති අතර, එම සෑම පරීක්ෂණයකින්ම ඖෂධය සමත් වී ඇති බව එම සමාගම ඖෂධ නියාමන අධිකාරිය වෙත දැනුම් දී තිබේ. ලංකාවට රැගෙන ඒමට පෙර නිකුත් කරන ලද පරීක්ෂණ වාර්තාවලට අනුව, අදාළ මුල් සාම්පලවල බැක්ටීරියා විෂ නොතිබුණු බව සඳහන් වේ.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ මූලික ප්‍රමිතිය, pH අගය, බැලූ බැල්මට පෙනෙන
ස්වරූපය, අඩංගු සංඝටක, කුප්පියක පවතින ඖෂධ ප්‍රමාණය, ක්ෂුද්‍ර ජීවී හරණය කළ ප්‍රමාණය, වෙනත් සංඝටක පවතින ප්‍රමාණය, බැක්ටීරියා විෂ ප්‍රමාණය සහ වර්ණාවලියේදී දක්වන වෙනස්කම් යන මූලික ගුණාංග දහයම නියාමන ක්‍රියාවලියේදී පරීක්ෂා කරන බවයි. මෙම සියලු පරීක්ෂණවලින් තම ඖෂධය සමත් වූ බව අදාළ වාර්තා ද සමඟ 'මාන් පාර්මසියුටිකල්' (Maan Pharmaceuticals) සමාගම ඖෂධ නියාමන අධිකාරිය වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව එම ආයතනය නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් ඔහු පවසයි.
සාමාන්‍යයෙන් යුරෝපානු ප්‍රමිතිය අනුව, මෙම ඖෂධ කුප්පියක් තුළ තිබිය යුතු බැක්ටීරියා විෂ ප්‍රමාණය මිලිග්‍රෑම් 1ක් තුළ ජාත්‍යන්තර ඒකක (IU) 9.9කට වඩා අඩු විය යුතු වන අතර, සමාගම ඉදිරිපත් කළ වාර්තාවලට අනුව එම අගය සම්මත සීමාවේ පැවතී ඇත.
ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරී තත්ත්ව පාලන රසායනාගාරය යනු ජාතික ප්‍රමිතිකරණ ආයතනය (SLSI) හෝ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (Sri Lanka Accreditation Body - SLAB) පිළිගන්නා මට්ටමේ රසායනාගාරයක් නොවන බවත්, එවන් දියුණු රසායනාගාරයක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් බිලියන පහකට ආසන්න මුදලක් වැය වන බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි. මෙම මුදල ජනාධිපතිවරයාට වාර්ෂිකව අයවැයෙන් වෙන්වන මුදලට හෝ ජනාධිපති අරමුදලට සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක් බව ඔහු පවසයි.එවන් දියුණු රසායනාගාරයක් පිහිටුවීමට කඩිනමින් අවධානය යොමු නොකරන්නේ නම්, දිගින් දිගටම සිදුවන බාල ඖෂධ ගෙන්වීම හේතුවෙන් මෙරට මිනිස් ජීවිත විනාශ වීම හා අදාළ සමාගම්වලට ගෙවන මුදල් යළි ප්‍රතිපූර්ණය කර ගැනීමට නොහැකි වීමෙන් මහජනතාවට විශාල බදු මුදලක් අහිමි වන බව ද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
එසේම, මෙම ඉන්දියානු ඖෂධය මෙරටට ගෙන්වන විට එහි බැක්ටීරියා විෂ නොතිබුණු බවට නැවත වරක් තහවුරු වුවහොත්, එය මෙරට සෞඛ්‍ය පද්ධතියේ කීර්තිනාමයට බලවත් හානියක් වනු ඇත. දුර්වල සෞඛ්‍ය පරිපාලනය නිසා මහජනතාව තුළ පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය කඩ කරන මෙම සිද්ධියට වගකිව යුතු සියලු දේශපාලනඥයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද වෛද්‍යවරයා අවධාරණය කරයි.


හොරා කාගන්න බැරුව කුලප්පු වෙලා.
ReplyDeleteතව හොඳට අපුල්ලන්න
Delete