ඇමරිකාවේ දෙවන විශාලතම වෙළඳ හවුල්කරු වන කැනඩාව, චීනය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹුණහොත් කැනේඩියානු ආනයන මත 100% ක දැවැන්ත බද්දක් පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කළේය.
මෙම ප්‍රකාශයත් සමඟ ජනාධිපති ට්‍රම්ප් සහ කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටුම තවදුරටත් උග්‍ර වී තිබේ. මීට පෙරද කැනේඩියානු භාණ්ඩ මත 10% ක බදු පැනවීමට ට්‍රම්ප් තර්ජනය කර තිබූ අතර, දෙරට අතර පවතින මෙම වාග් සංග්‍රාමය මේ වන විට දැඩි මුහුණුවරක් ගෙන ඇත.
තම 'Truth Social' සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසා සිටියේ, චීන නිෂ්පාදන ඇමරිකාවට ඇතුළු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කැනඩාව භාවිතා කිරීමට අගමැති කාර්නි උත්සාහ කරන්නේ නම් එය බරපතල වැරැද්දක් බවයි. "චීනය විසින් කැනඩාව සම්පූර්ණයෙන්ම ගිලගනු ඇත. ඔවුන්ගේ ව්‍යාපාර, සමාජ පද්ධතිය සහ පොදු ජීවන රටාව මේ හරහා විනාශ වී යනු ඇත," යනුවෙන් ට්‍රම්ප් එහි සඳහන් කර තිබේ.
මෙය ට්‍රම්ප්ගේ පෙර ස්ථාවරයට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. පසුගිය ජනවාරි 16 වැනිදා ඔහු මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ කැනඩාව චීනය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹීම යහපත් දෙයක් බවයි.
මෙම මස මුලදී කැනේඩියානු අගමැතිවරයා චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී නව "උපායමාර්ගික හවුල්කාරිත්වයක්" ඇති කර ගත්තේය. ඒ යටතේ චීන විද්‍යුත් මෝටර් රථ සඳහා පනවා තිබූ බදු ලිහිල් කිරීමටත්, වාර්ෂිකව රථවාහන 49,000 ක් දක්වා කැනේඩියානු වෙළඳපොළට ඇතුළු කිරීමටත් එකඟ වී ඇත. ඒ වෙනුවෙන් කැනේඩියානු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා පනවා ඇති බදු බාධක ඉවත් කිරීමට චීනය එකඟතාව පළ කර තිබේ.
ස්විට්සර්ලන්තයේ දාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේදී අදහස් දක්වමින් අගමැති කාර්නි පැවසුවේ, ඇතැම් බලවත් රටවල් ආර්ථික ඒකාබද්ධතාවය අවියක් ලෙසත්, බදු පැනවීම් බලපෑම් සහගත මෙවලමක් ලෙසත් භාවිතා කරන බවයි. ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ, "කැනඩාව පවතින්නේ ඇමරිකාව නිසා නොව, අප කැනේඩියානුවන් වන නිසා අප දියුණු වන" බවයි.
කෙසේ වෙතත්, මෙම වෙළඳ යුද්ධය හේතුවෙන් දෙරටේම ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇත. පසුගිය ඔක්තෝබර් මාසයේදී කැනඩාවේ විරැකියා අනුපාතය වසර නවයකට පසු ඉහළම මට්ටමට පැමිණි අතර, කැනේඩියානුවන් ඇමරිකාවට පැමිණීම 31% කින් පහත වැටී තිබේ. ඇමරිකානු මත්පැන් අපනයනයද 85% කින් පමණ කැනේඩියානු වෙළඳපොළ තුළ පහත වැටී ඇති බව වාර්තා වේ.
ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරි සති කිහිපය තුළ ජනාධිපතිවරයාට මෙලෙස බදු පැනවීමට ඇති හදිසි බලතල පිළිබඳව තීරණයක් ලබා දීමට නියමිතය.

පිස්සු හුත්ති 😂😂😂
ReplyDeleteඇමරිකාව මේ නටන්නේ දුර දිග බලන්නේ නැති සෙල්ලමක්. ඇමරිකන් ආර්ථිකය කඩා වැටෙන සීමාවේ තියෙන්නේ. ඒකයි ඔය ලෝකේ සම්පත් තියෙන රටවල් වලට තග දාගෙන යටත් කරගන්න හදන්නේ. රටවල් ඩොලර් භාවිතයෙන් ඉවත් උනොත්, ඇමරිකාව ඉවරයි.
ReplyDelete