ගල් අගුරු නැවු 38ක් අවශ්‍යයි.. ආවේ තුනයි.. තුනම බාලයි.. නොරොච්චෝල විදුලි සැපයුම අර්බුදයක.. හදිසි මිලදී ගැනීම් බලයි..

 


දැනට ක්‍රියාත්මක ගල් අඟුරු ටෙන්ඩරය හරහා මෙරටට ගෙන්වන ලද ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ බරපතළ ගැටලු මතු වී ඇති අතර, මේ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ රට දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති. 

මෝසම් වැසි ආරම්භ වීමට ප්‍රථම, එනම් මාර්තු මැද භාගය වන විට අවශ්‍ය ගල් අඟුරු තොග මිලදී ගෙන අවසන් කළ යුතු වුවද, පවතින තත්ත්වය හමුවේ අප්‍රේල් මාසයට පෙර එම ඉලක්කය සපුරා ගැනීම අසීරු වී ඇත. 

මීට ප්‍රධානතම හේතුව ලෙස දක්වන්නේ අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා මුහුද රළු වීම නිසා ගල් අඟුරු ගොඩබෑමට නොහැකි වීමයි.

විදුලි උත්පාදනය සඳහා භාවිත කළ බාල ගල් අඟුරු හේතුවෙන් මෙගාවොට් 300ක් අපේක්ෂා කළ ජනන යන්ත්‍රයකින් ලබාගත හැකි වී ඇත්තේ මෙගාවොට් 240ක ධාරිතාවක් පමණි.

නොරොච්චෝලේ බලාගාර පරීක්ෂණාගාරය මගින් තෙවැනි ගල් අඟුරු තොගය ද ප්‍රමිතියෙන් තොර බව තහවුරු කර ඇත. ගිවිසුම්ගත ප්‍රමිතිය වූ 5900~kcal/kg වෙනුවට ලැබී ඇත්තේ 5600-5800~kcal/kg අතර අගයක් ගන්නා බාල ගල් අඟුරු බව වාර්තාවල සඳහන් වේ.

වසරකට අවශ්‍ය නැව් 38ක ප්‍රමාණයෙන් මේ වන විට ලැබී ඇත්තේ නැව් 3ක් පමණි. තවත් නැව් 3ක් ඉදිරි දිනවලදී දිවයිනට ළඟා වීමට නියමිතව ඇත.

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය හේතුවෙන් රුපියල් කෝටි 750ක පමණ පාඩුවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වේ. පළමු නැව සඳහා රජය විසින් දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 2ක දඩයක් පනවා ඇත.

විදුලි ඉංජිනේරුවන්ට අනුව, ගල් අඟුරුවල තාපජ ශක්තිය අඩු වීම නිසා අවශ්‍ය විදුලි ප්‍රමාණය උත්පාදනය කිරීමට වැඩි ගල් අඟුරු ප්‍රමාණයක් වැය කිරීමට සිදු වේ. 

මෙම තත්ත්වය හමුවේ ලංකා කෝල් සමාගම සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කර නැව්ගත කිරීමට පෙර සාම්පල් පරීක්ෂා කිරීමටත්, හදිසි මිලදී ගැනීම් සිදු කිරීමටත් අවධානය යොමු කර තිබේ. 

මෙරට විදුලි අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් සපයන නොරොච්චෝලේ බලාගාරයේ ජනන කටයුතු අඩාල වුවහොත් එය රටේ සමස්ත බලශක්ති පද්ධතියටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

3 Comments

  1. විදුලිබල ඇමැති පට්ට අණ්ඩපාලයෙක්. මූ කෝටි ගණනක කොමිස් ගන්න ඇති.

    ReplyDelete
  2. හොරු අල්ලන්න ආපු උන් කම්බා හොරු..අයියෝ අපෙ චන්දෙ ජෙප්පන්ට දීපු

    ReplyDelete
  3. ජංගියෙ රෙවාගන්නෙ නැතිව කරපු එක වැඩක්?

    ReplyDelete
Previous Post Next Post