ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙට්ට ගනුදෙනුව හෙලි කල පුහුණුකරු පොලිසි කැඳවයි...

 


ක්‍රීඩා අමාත්‍යංශය විසින් මෙරටට ගෙන්වා ඇති උස පැනීමේ මේට්ට තොගයේ ප්‍රමිතිය සහ ඒවා නියමිත මිලට වඩා වැඩි මිලක් ගෙවා ලබාගෙන ඇතැයි විවේචනයක් ඉදිරිපත් කරමින් අදාළ ගනුදෙනුව පිළිබඳ රටෙහි අවධානය යොමුකළ ප්‍රවීණ පුහුණුකරු ප්‍රියන්ත තන්ත්‍රිගේ එකී සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් මත (02) කුරුඳුවත්ත පොලිසිය වෙත කැඳවා තිබින.

මීටර 3000 බාධක දිවීම සහ මීටර 5000 යන ඉසව්වල හිටපු ජාතික ශූරයකු, ජාතික වාර්තා ලාභියකු, ජාත්‍යන්තර පදක්කම්ලාභියකු මෙන්ම ජාත්‍යන්තර සුදුසුකම් ලත් පුහුණකරුවකු වන ප්‍රියන්ත තන්ත්‍රිගේට විරුද්ධව එකී පැමිණිල්ල සිදුකර ඇත්තේ කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ එකී ක්‍රීඩා භාණ්ඩ භාරව සිටින නිලධාරියකු විසින් කළ පැමිණිල්ලකට අනුව යැයි පැවසේ.

ප්‍රියන්ත තන්ත්‍රිගේ විසින් ක්‍රීඩාංගණයට මාධ්‍ය රැගෙන ගොස් ඇතිය යන්න මෙකී පැමිණිල්ලේ චෝදනාවය.

මේ අතර ඔහු විසින් මාධ්‍ය හමුවේ එම අදහස් ප්‍රකාශ කරන මොහොතේ ඒ අසල සිටි (නමුත් මාධ්‍ය වෙත කිසිදු අදහසක් ප්‍රකාශ කිරීමට කටයුතු නොකළ) පුහුණුකරුවකුද අදාළ චෝදනාව යටතේම කටඋත්තර ගැනීම සඳහා කුරුඳුවත්ත පොලිසියට කැඳවා ඇත.

වත්මන් ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිලෙස විවේචනයට ලක්වන සේ සහ වත්මන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ පරිහානීය ලක්ෂණ ගෙනහැර දක්වමින් අදාළ පුහුණුකරුවා කරුණු දැක්වීමෙන් අනතුරුව, ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරීන් ඒ පිළිබඳ බොහෝ කලබල වී ඇති බවටද ක්‍රීඩා අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන අතර අදාළ ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ සමාජ ගතවීමෙන් අනතුරුව ටොරින්ටන් ක්‍රීඩාංගණයේ ආරක්ෂක අංශයද එකී පුහුණුකරුවාට එරෙහිව පැමිණිල්ලක් සඳහා කුරුඳුවත්ත පොලිසිය වෙත යොමුකර තිබූ බවද වැඩිදුරටත් සැලවේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ

- aruna

Previous Post Next Post