දේශපාලන උවමනා මත නීතිපතිට පහර දෙනවා..- නීතීඥ සංගමය ලොකු චෝදනාවක

 


නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන පෝස්ට් (Posts) මඟින් නීතිපති ධුරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා එල්ල වන බව පවසමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ අපරාධමය කාරණාවලදී නීතිපතිවරයා අර්ධ අධිකරණමය භූමිකාවක් ඉටු කරන බවයි. විමර්ශන බලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු මත පදනම්ව සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ බලය නීතිපතිවරයා සතු වේ. 

එහිදී අදාළ සාක්ෂි නීත්‍යානුකූලව පිළිගත හැකිද යන්න සහ වරදකරු කිරීමේ සාධාරණ සම්භාවිතාවක් තිබේද යන්න නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව එම සංගමය අවධාරණය කරයි.

 නීතිපතිවරයාගේ තීරණ, අභියාචනාධිකරණයේ රිට් බල ප්‍රදේශය හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් බල ප්‍රදේශය යටතේ සමාලෝචනයට ලක් කළ හැකිය.

අධිකරණ සහ අර්ධ අධිකරණ නිලධාරීන් තීරණ ගත යුත්තේ පවතින නීතියට අනුකූලව මිස සැමවිටම ජනප්‍රිය මතය අනුව නොවන බව වටහා ගත යුතුය.

වික්ටර් අයිවන් එදිරිව සරත් එන්. සිල්වා නඩුව උපුටා දක්වමින් නීතිඥ සංගමය පවසන්නේ, ඕනෑම පුරවැසියෙකුට තමන් විසින් කරන ලද හෝ තමන්ට එරෙහිව කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාධාරණ, දක්ෂ සහ කාලෝචිත විමර්ශනයක් ලැබීමට අයිතියක් ඇති බවයි.

රජයේ නිලධාරීන්ගේ තීරණ විවේචනය කිරීමට පුරවැසියන්ට අයිතියක් තිබුණද, එය නීතිපති ධුරයේ ස්වාධීනත්වයට හෝ නීතියේ ආධිපත්‍යයට හානි වන අයුරින් සිදු නොකළ යුතුය.

දේශපාලන හෝ පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එල්ල කරන අසාධාරණ මැදිහත්වීම්වලින් ඔවුන්ව ආරක්ෂා කිරීම රජයේ සහ නීතිය බලාත්මක කරන ආයතනවල වගකීමක් බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

1 Comments

Previous Post Next Post