සෞඛ්‍ය අමාත්‍යාංශය පොරොන්දු වූ පරිදි වෛද්‍යවරුන්ගේ ගැටලු හා නිදහස් සෞඛ්‍ය සේවයේ පවතින අර්බුද විසඳීමට පියවර නොගැනීමට එරෙහිව හෙට (23) පෙරවරු 8 සිට ක්‍රියාත්මක වන පරිදි දින දෙකක සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම විරෝධතාව මුළු දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතය.
කෙසේ වුවද, රෝගී සත්කාරක සේවාවන්හි අත්‍යවශ්‍යතාවය සලකා බලා මතෘ හා ළමා රෝහල් පිළිකා රෝහල්
වකුගඩු ප්‍රතිකාරක රෝහල් මෙම වැඩවර්ජනයෙන් නිදහස් කර තිබේ.
සෞඛ්‍ය බලධාරීන් සමඟ ඇති කරගත් එකඟතා ඉටු නොකිරීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
මාධ්‍ය නිවේදනය
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ
ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට
අසමත් වීම හේතුවෙන් 2026.01.23 වැනි දින සිට අඛණ්ඩ දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ග
මාලාවක්.
ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ
සැබෑ ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය කෙටි කාලීන
සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් පසුගිය අයවැය තුල අන්තර්ගත
නොවීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුල බරපතල නොසන්සුන්තාවයක් සහ
විරෝධතාවයක් ඇති විය.
ඒ අනුව සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ
ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග
මාලාවක් දියත් කල අතර, සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් ලබා දුන් ලිඛිත එකඟතාවයන් මත එම වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවන ලදී.
එම ලිඛිත එකඟතාවයන් වනුයේ,
·
සියලු කාණ්ඩවල
වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් “ශ්‍රී ලංකා
වෛද්‍ය සේවය” නමින්
සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ
සහභාගිත්වයෙන් සහ එකඟතාවයෙන් කෙටුම්පත්
කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කිරීම.
- · වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම
- · 22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳිම
- · අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම
- · පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳිම
·
ඉහත ගැටලු කාල
රාමුවක් සහිතව විසඳිම සඳහා 2026.01.05 දින සිට
මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම
සෞඛ්‍ය අමාත්‍යවරයා ලිඛිතව ලබා දුන් එකඟතා දිගින් දිගටම
උල්ලංඝණය කරන පසුබිමක 2026.01.07 වැනි දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේ ඒකමතික තිරණය වුයේ ගැටලු විසඳීමට වගකිවයුත්තන් අසමත්
වන්නේ නම් ඕනෑම මොහොතක
දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹිමට විධායක සභාවට බලය පැවරීමයි.
2026.01.13 වැනි දින පැවති රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේදි දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර එකඟතා ක්‍රියාත්මක කරමින්
ගැටලු විසඳීම සඳහා ඉදිරි දින 10ක කාලයක්
සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීමට තීරණය කරන ලදී.
නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කරමින් සෞඛ්‍ය
පද්ධතියේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා වන එකඟතා ක්‍රියාත්මක කිරීමට
දින 10 ක කාලයක් ලබා දුන් අතර එය එසේ නොවන්නේ නම්, 2026.01.23
වැනි දින සිට ආරම්භ වන පරිදි දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට
විධායක කමිටුව ඒකමතිකව තීරණය කරන ලදී.
එකඟතා ක්‍රියාත්මක
කරමින් ගැටලු විසඳීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නද සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ
වගකිව යුත්තන් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ තම වගකීම ඉටු කිරීම උදෙසා කිසිදු
ලෙසකින් මැදිහත් නොවන බව යලි යලිත් පෙන්නුම් කරමින් පවති.
ගැටලු විසඳීම
සඳහා අවම වශයෙන් නිල සාකච්ඡාවක් හෝ සිදු කිරීමට තරම් අවශ්‍යතාවයක් හෝ වුවමනාවක්
සෞඛ්‍ය අමාත්‍යවරයාට හෝ වගකිවයුත්තන්ට නොමැති වීම තුලින් නිදහස් සෞඛ්‍යයේ අනාගතය
අනාරක්ෂිත බව යලි යලිත් පසක් කරමින් පවති.
මෙම
වගකීම් විරහිත හැසිරීම හමුවේ අවසානයේ සිදු වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ වැටි ජන
ජිවිත අවදානමට පත්වීම පමණි.
පවතින ප්‍රවණතාවයන්
සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු අදාල වගකිවයුත්තන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය
දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව පහත තීරණ
වලට එළඹෙන ලදී.
1.
2026.01.23
එනම් හෙට දින උදෑසන 8.00 සිට අඛණ්ඩ දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවක්
ආරම්භ කරනු ලැබේ.
2.
එම වෘත්තීය ක්‍රියාමාර්ග
මාලාවේ පළමු පියවර ලෙස 2026.01.23 එනම් හෙට දින උදෑසන 8.00 සිට පැය 48 ක දීපව්‍යාප්ත
සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබේ.
3.
පවතින ප්‍රවණතාවයන්
අධ්‍යයනය කරමින් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ සැලසුම සහ කාල
රාමුව ඉදිරියේදි ප්‍රකාශයට පත් කරනු ලැබේ.
වැඩවර්ජනය පැවැත්වෙන පැය 48 ක කාලය තුලදි හදිසි
සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.
වැඩවර්ජන ක්‍රියාමාර්ගය ළමා රෝහල්, මාතෘ
රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් තුල සහ ජාතික
මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ක්‍රියාත්මක නොවේ.
මෙම වැඩවර්ජනය හේතුවෙන් ජනතාවට යම් අපහසුතාවයක්
සිදු වන්නේ නම්, එහි සම්පූර්ණ වගකීම එකඟතා කඩකරමින් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා
කිරීමේ වගකිම පැහැර හරින රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශය
සම්පූර්ණයෙන් භාර ගත යුතුය.
රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් හැසිරීම
තුල, නිදහස් සෞඛ්‍ය සේවාවේ හෙට දවස සම්බන්ධයෙන් බරපතල අවිනිශ්චිතතාවයක් මතු වී ඇති
අතර රෝහල් පද්ධතියේ මානව සම්පත් අර්බුදය, ඖෂධ අර්බුදය ඇතුලු ගැටලු සඳහා කාල රාමුවක්
සහිත උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාවයන් නොසලකා නිදහස්
සෞඛ්‍ය සේවාව විනාශ කිරීමේ මාර්ගයේ ආණ්ඩුව කටයුතු කරන්නේ නම් සියලු පාර්ශව එක්
කරගනිමින් නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක්
ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට නොවන බවද අවධාරණය කරමු.
