ලංවිම දශක හයක සේවයේ අවසන් දින කිහිපයේ.. සියළු වත්කම් සමාගම් හයට පවරයි..

 


ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සැපයුම්කරු වන ලංකා විදුලිබල මණ්ඩලය, නව සමාගම් හයක් යටතේ ප්‍රතිසංවිධානය කිරීමේ තීරණාත්මක අදියරකට එළඹ තිබේ. 

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පවසන්නේ, ලබන පෙබරවාරි 01 වැනිදාට පෙර මණ්ඩලයේ වත්කම් මෙම නව සමාගම් වෙත පවරා අවසන් කරන ලෙස උපදෙස් දී ඇති බවයි.

නව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් සමඟ ඉදිරියට යාමට අකමැති සේවකයන් 2,173 දෙනෙකු විශ්‍රාම ගැනීම සඳහා ඉල්ලුම් කර ඇත. 

ඔවුන්ට අදාළ වන්දි මුදල් ගෙවීමේ කටයුතු පෙබරවාරි මස පළමු සතිය තුළ අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය මණ්ඩලයට දැනුම් දී තිබේ.

ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වීමත් සමඟ දැනට පවතින ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීමට නියමිතය. ඉන්පසු සියලු මෙහෙයුම් කටයුතු අලුතින් පිහිටුවන ලද ස්වාධීන සමාගම් හය මගින් පවත්වාගෙන යනු ඇත. 

නව සමාගම් සඳහා අවශ්‍ය සේවකයන් යොමු කිරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ විදුලිබල ඉතිහාසය 19 වන සියවසේ අගභාගය දක්වා දිවයන අතර, 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත මගින් වර්තමාන මණ්ඩලය ස්ථාපිත කෙරුණේ 1969 නොවැම්බර් 01 වැනිදාය.

දශක පහකට අධික කාලයක් මෙරට විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීමේ පූර්ණ වගකීම දැරූ ප්‍රධාන රාජ්‍ය ආයතනය මෙයයි.

 "විදුලියෙන් ජීවිතය ආලෝකවත් කිරීම" යන දැක්ම පෙරදැරිව, ජල විදුලිය, තාප සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් මුළු දිවයිනටම විදුලිය සැපයීමේ කාර්යභාරය මණ්ඩලය විසින් ඉටු කරන ලදී.


Previous Post Next Post