අභිචෝදක කාර්යාලය දඩි-බිඩියේ විනාඩි පහෙන් හදන්න බෑ..- අධිකරණ ඇමති


අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම හදිසියේ කළ හැකි දෙයක් නොවන බව ත් නීති වගන්තිවලට අනුව ඒ සඳහා සංකල්ප පත්‍රිකාව සකස් කර ගැනීමේ සාකච්ඡා කටයුතු මේ වන විට සිදු වන බව ත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය  හර්ෂණ නානායක්කාර කීවේය.

එම ක්‍රියාවලිය සඳහා යම් කාලයක් ගතවුවද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට පොරොන්දු වූ පරිදි හැකි ඉක්මණින් ඒ කටයුත්ත නිම කිරීමට උත්සාහ කරන බව ඔහු කීවේය.

“ඉරිදා මව්බිම” මේ පිළිබඳ කළ විමසීමකට අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෙසේද කීවේය.

 “ඒ සම්බන්ධයෙන් කමිටුව දිගට ම කටයුතු කරගෙන යනවා. ඒ කමිටුවේ ප්‍රධානියා වශයෙන් ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ. එතුමා දිගටම වැඩකටයුතු කරමින් සිටිනවා.

ඒක මේ හිතනවා වගේ දඩි-බිඩියේ  විනාඩි 05න් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද  එතැනදී අවුරුදු 200ක් පරණ නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක මුළු නීති වගන්ති බලලා පළමුව “සංකල්ප පත්‍රිකාව” හරියට හදන්න ඕනෑ. ඒකට අවශ්‍ය සාකච්ඡා කටයුතු කෙරීගෙන යනවා.

 ඒ දේ මේ මොහොතේ මට නිශ්චිතව කියන්න බැහැ. කමිටුව නැවත හමුවෙන්න ඕනෑ. එතකොට ඒකට ගතවන කාලසීමාව මට බලලා කියන්න පුළුවන්. නමුත් මෙය ඉක්මණින් කෙරෙන බව මා දන්නවා.”

Previous Post Next Post