නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය 2026 ජනවාරි 10 වන දින පෙ.ව. 11.30 වන විට මුලතිව් සිට කිලෝමීටර 20 ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබූ අතර, එය මේ වන විට මුලතිව් වෙරළ තීරයෙන් දිවයිනට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වය ජනවාරි 11 වන විට අඩු පීඩන ප්‍රදේශයක් දක්වා දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අධික වැසි සහ තද සුළං මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත. මීට අමතරව උතුරු පළාතේ පැයට කිලෝමීටර 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ද, පුත්තලම, මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර 50 දක්වා වන තද සුළං ද ඇතිවිය හැක.
විය හැකි හානි සහ ආරක්‍ෂිත පියවර තද සුළං හේතුවෙන් තාවකාලික ඉදිකිරීම් වලට හානි සිදුවිය හැකි අතර, ගස් කඩා වැටීම් සහ විදුලි රැහැන් වලට හානි සිදුවීමේ අවදානමක් පවතී. එබැවින් කඳුකර හා නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් මෙන්ම වෙරළාසන්න පහත් බිම්වල ජනතාව ද දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි. හදිසි අවශ්‍යතාවකදී 117 ක්ෂණික දුරකථන අංකය අමතන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
ධීවර හා නාවික කටයුතු කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස දැනුම් දී ඇත. කෙසේ වෙතත්, කොළඹ සිට ගාල්ල හරහා මඩකලපුව දක්වා වූ මුහුදු ප්‍රදේශ සඳහා මීට පෙර පනවා තිබූ නාවික සීමාවන් ඉවත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර, නිල නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
