කාන්තාව දැඩි කාර්යබහුල නිසා ශීතකරණය තුළ ආහාර අපතේ යනවා..- අගමැතිනි


ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුරුදු පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, එය දරුවාගේ ආකල්ප සහ චර්යාවන්හි කොටසක් බවට පත්විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

​අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ (28) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති "ආහාර අංශයේ චක්‍රීය ආර්ථික ව්‍යාපෘතිය (2024-2027)" යටතේ, දේශීය චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සහ ශක්තිමත් කිරීම සඳහා වන අධ්‍යාපනය පිළිබඳ ජාතික වැඩමුළුව අමතමිනි.

​යුරෝපීය සංගමයේ (European Union) මූල්‍ය දායකත්වයෙන්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ Global Gateway වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණු වූයේ, ​පාසල් අධ්‍යාපනයට චක්‍රීය ආර්ථික සංකල්ප ඇතුළත් කිරීමේ අභියෝග සහ අවස්ථා හඳුනා ගැනීම, ​ප්‍රතිපත්ති සම්පාදකයින්, යෞවන හා නිපුණතා සංවර්ධන අංශ සහ විධිමත් අධ්‍යාපන පාර්ශවකරුවන් හරහා ප්‍රායෝගික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම, ​2027 වසර දක්වා මෙරට ආහාර ක්ෂේත්‍රය තුළ තිරසාර චක්‍රීය ආර්ථික ක්‍රමවේද ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය අධ්‍යාපනික පදනම සැකසීමයි.

​වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය:

​"අධ්‍යාපනය යනු හුදෙක් විභාග සමත් වී රැකියාවක් ලබා ගැනීම පමණක් නොවෙයි. සැබෑ අධ්‍යාපනය යනු පුද්ගලයා තුළ සමාජය සහ පරිසරය කෙරෙහි වගකීමක් මෙන්ම බැඳීමක් ඇති කිරීමයි. වර්තමානය වන විට අපට වඩාත් වැදගත් වන්නේ සම්පත් නැවත නැවත භාවිතයට ගන්නා වූ 'චක්‍රීය ආර්ථික' (Circular Economy) සංකල්පයයි.

​මෙම සංකල්පය අපේ පැරැන්නන්ට අමුතු දෙයක් නොවෙයි. මගේ මතකයට එන්නේ මගේ ආච්චි අම්මා. ඇය ආහාර අපතේ යාම අවම කිරීමට දැක්වූයේ පුදුම දක්ෂතාවයක්. අද අප ඉවත ලන පැෂන් ෆෘට් ලෙලිවලින් එදා ඇය රසවත් ජෑම් සහ චට්නි සෑදුවා. කිරි බෝතල්වල ලෝහ පියන් පවා ඉවත නොදමා ඒවායින් නිවස හැඩ කරන විවිධ නිර්මාණ කළා. 'කිසිවක් ඉවත නොදැමීම' ඔවුන්ගේ ජීවන දර්ශනයයි.

​නමුත් අද කාන්තාව දැඩි කාර්යබහුලත්වයකට මුහුණ දී සිටිනවා. රැකියාව සහ දරුවන්ගේ කටයුතු අතරතුර, කාලය නොමැතිකම නිසා ශීතකරණය තුළ එළවළු හෝ ආහාර ස්වල්පයක් අපතේ යාම අද සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. මෙය හුදෙක් කාන්තාවගේ පමණක් වගකීමක් නොවිය යුතුයි; නිවසක් තුළ මේ වගකීම් සහ ශ්‍රමය සාමූහිකව බෙදාගත යුතුයි."

​ආහාර බෙදාගැනීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණය පමණක් ලබා ගැනීම, තමන්ගේ පිඟාන තමන්ම පිරිසිදු කරගැනීම සහ සම්පත් සුරැකීමට පෙළඹීම වැනි දෑ හුදෙක් පාඩම් නොව ජීවන රටාවන් විය යුතු බවත්, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස පූර්ණ සහයෝගය ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

​මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් දූත පිරිසේ තානාපතිනි කාර්මන් මොරෙනෝ (H.E. Carmen Moreno), එම සංගමයේ සහයෝගිතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙසේ (Dr. Johann Hesse), FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් (Vimlendra Sharan) යන මහත්ම මහත්මීන් ඇතුළු ජාතික අධ්‍යාපන ආයතනය (NIE) සහ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.


4 Comments

  1. ඩප්පි හඳුන්නෙත්තිJanuary 29, 2026 at 3:30 AM

    ඉතිං අපිට පාන්ද බං?

    ReplyDelete
  2. කොටින්ම කියනවනම් කොන්ඩේ පීරන්න වත් වෙලාවක් නෑ

    ReplyDelete
  3. එංගලන්තයේ ඇමරිකාවේ වගේ රටවල්වල ශීතකරණවල තියෙන ඒවා දිහා බලලා ලංකාවේ ශීතකරණත් ඒවාගේ කියල හිතාගෙන මේ ගෑණි පිස්සු දොඩවනවා. අපේ ශීතකරණවල ඔය කියන විදිහට අපතේ යන මොනවත් නැහැ. අපි
    ඔක්කොම කනවා. මෙයාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ත් ඔහොම තමයි. ටෙලස්කෝප් එකෙන් පින්ලන්ත, එංගලන්තය, වගේ රටවල් දිහා බලලා අපිටත් ඒවා කරන්න කියනවා.

    ReplyDelete
Previous Post Next Post