සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශයෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය පැකේජයක් ලබා දීමට ඉන්දීය රජය තීරණය කර ඇත.
මෙම ණය මුදල ඉන්දීය රුපියල් (INR) පදනම් කරගත් ණය පහසුකමක් ලෙස පිරිනමන බව වාර්තා වේ.
මෑතකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මෙරට සිදුකළ නිල සංචාරයේදී ඇමරිකානු ඩොලර් මිලියන 450ක මූල්‍ය ආධාර පැකේජයක් නිවේදනය කරන ලදී.
ඉන් ඩොලර් මිලියන 100ක ප්‍රමාණය ප්‍රදානයක් (Grant) ලෙස හිමිවන අතර, අනෙකුත් ව්‍යාපෘතිවලදී මෙන්ම එම ප්‍රදානය ශ්‍රී ලංකා රුපියල්වලින් ලබා දීමට නියමිතය.
2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු, ශ්‍රී ලංකාවට ණය ලබා දෙනවා වෙනුවට ප්‍රදානයන් කෙරෙහි ප්‍රමුඛතාව ලබා දීමට ඉන්දියාව මීට පෙර තීරණය කර තිබුණි.
කෙසේ වෙතත්, ඩිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ අතිවිශාල දේපළ හා යටිතල පහසුකම් හානිය සලකා බැලීමේදී, ප්‍රදානයන් පමණක් ප්‍රමාණවත් නොවන බව ඉන්දීය බැංකුව (RBI) තීරණය කර ඇත. ඒ අනුව නව ණය පැකේජය සකස් කර තිබේ.
මෙම ණය මුදල යොදවන ව්‍යාපෘති හඳුනාගැනීම සඳහා දෙරටේ බලධාරීන් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටී.
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශීය නියෝජිතයන් සමඟ එක්ව ඉන්දීය කොන්ත්‍රාත්කරුවන් ද දායක වීමට නියමිතය.
මෙම සහයෝගීතාවය යටතේ ප්‍රධාන වශයෙන් විනාශ වූ මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම, සම්පූර්ණයෙන් සහ අර්ධ වශයෙන් හානි වූ නිවාස නැවත ඉදිකිරීම, සෞඛ්‍ය හා අධ්‍යාපන පද්ධති නඟාසිටුවීම, කෘෂිකාර්මික අංශය සවිබල ගැන්වීම සහ අනාගත ආපදා කළමනාකරණය සඳහා සූදානම් වීම අංශ කෙරෙහි අවධානය යොමු කෙරේ.
ආපදාව සිදු වූ වහාම ක්‍රියාත්මක වූ ඉන්දියාව, 'සාගර් බන්ධු' මෙහෙයුම යටතේ වියළි සලාක, කූඩාරම්, සනීපාරක්ෂක කට්ටල සහ ජල පිරිපහදු කට්ටල ඇතුළු සහන ද්‍රව්‍ය ටොන් 1,100කට අධික ප්‍රමාණයක් මෙරටට ලබා දී ඇත.
මීට අමතරව ඖෂධ සහ වෛද්‍ය උපකරණ ටොන් 14.5ක් ද, සහන සේවා සඳහා අවශ්‍ය වෙනත් උපකරණ ටොන් 60ක් ද ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.
