ඉරානයේ ස්ථාන දෙකක සිදුවූ පිපිරීම් මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් සිය මැදිහත්වීමක් නොමැති බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇති අතර, ඉරාන බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
පළමු පිපිරීම ඉරානයේ දකුණු දිග පිහිටි බන්දාර් අබ්බාස් වරාය නගරයේ සෙනසුරාදා දින සිදුවිය. මෙම පිපිරීමෙන් සිව් හැවිරිදි දැරියක මියගොස් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ. මහල් අටකින් යුත් ගොඩනැගිල්ලක සිදුවූ මෙම පිපිරීමෙන් එහි පළමු මහලේ සිට තෙවන මහල දක්වා බරපතල හානි සිදුව ඇති අතර, අවට තිබූ රථවාහන කිහිපයකට සහ වෙළඳසැලකට ද හානි සිදුව ඇත.
මීට අමතරව, බන්දාර් අබ්බාස් සිට කිලෝමීටර් 1,000කට වඩා දුරින් පිහිටි අහ්වාස් ප්‍රදේශයේ සිදුවූ දෙවන පිපිරීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රාදේශීය නිලධාරීහු තහවුරු කරති.
බන්දාර් අබ්බාස්හි පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූවක් බවට එක් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති නමුත්, හෝර්මොස්ගන් පළාතේ ආපදා කළමනාකරණ අධිකාරිය පවසන්නේ සිද්ධියට නිශ්චිත හේතුව තවමත් විමර්ශනය කරමින් පවතින බවයි.
මේ අතර, විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපතිවරයෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා ඉරාන පුවත් ඒජන්සි විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මෙම පිපිරීම් සිදුවන්නේ කලාපය තුළ දැඩි යුධමය ආතතියක් පවතින වටපිටාවකයි. ලෝකයේ මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන තෙල්වලින් පහෙන් එකක් හසුරුවන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පිහිටි බන්දාර් අබ්බාස් වරාය ඉතා වැදගත් මූලෝපායික මධ්‍යස්ථානයකි.
මීට අමතරව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය දෙසට "විශාල බලඇණියක්" ගමන් කරන බවට කළ ප්‍රකාශය සහ ඇමරිකානු හමුදා කලාපය තුළ ඒකරාශී වීම ද මෙම තත්ත්වය තවත් උග්‍ර කර තිබේ.
ඉරානය තුළ ආර්ථික ප්‍රශ්න මුල්කරගනිමින් රජය පෙරළා දැමීමට මෑතකදී ඇතිවූ විරෝධතා මර්දනය කිරීමෙන් පසු මෙම අනපේක්ෂිත පිපිරීම් වාර්තා වීම විශේෂත්වයකි
