ගෝලීය වෙළඳ ක්ෂේත්‍රයේ තීරුබදු තවදුරටත් ඉහළ යාම, වෙළඳ සීමාවන් දැඩි වීම සහ පවතින අවිනිශ්චිතතාව දකුණු ආසියානු කලාපයේ, විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සමඟ වැඩි වෙළඳ සබඳතා පවත්වන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වැනි රටවල අපනයන ඉල්ලුමට හා ආර්ථික ක්‍රියාවලියට සෘජු බලපෑම් එල්ල කළ හැකි බව ලෝක බැංකුව පවසයි.
ලෝක බැංකුව මගින් නිකුත් කරන ලද ‘2026 ජනවාරි ගෝලීය ආර්ථික අපේක්ෂා’ වාර්තාව මගින් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත.
ඇමරිකානු පරිපාලනය විසින් පනවා ඇති ‘අන්‍යෝන්‍ය තීරුබදු’ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම වාර්තාව පෙන්වා දෙන්නේ, දකුණු ආසියානු කලාපය ගෝලීය වෙළඳාමට විවෘත වීම සාපේක්ෂව සීමිත මට්ටමක පැවතියද, ඇමරිකාව වැනි ප්‍රධාන වෙළඳපොළවල් මත යැපෙන රටවලට මෙහි අවදානම ඉහළ බවයි.
පසුගිය 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව 10%ක මූලික තීරුබදු අනුපාතයට අමතරව 20%ක අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතයක් පැනවීමට ඇමරිකාව පියවර ගත්තේය. මුලින් මෙය 44%ක් දක්වා ඉහළ අගයක පැවති අතර, සාකච්ඡා මාර්ගයෙන් එය 20% දක්වා අඩු කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
පවතින ගෝලීය වාතාවරණය හමුවේ මෙරට සම්ප්‍රදායික අපනයනයක් වන රබර් ක්ෂේත්‍රය දැඩි පසුබෑමකට ලක්ව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පසුගිය දෙසැම්බර් මාසයේදී සඳහන් කළේය. සාමාන්‍යයෙන් වසරකට ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉක්මවන රබර් අපනයන ආදායම 2025 වසරේදී ඩොලර් මිලියන 950ට වඩා අඩු මට්ටමකට වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ සභාපති කේ.ඒ.සී. විද්‍යාරත්න මහතා පවසන පරිදි, රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා ඇති නව තීරුබදු සහ ඇමරිකානු පාරිභෝගිකයන් නව යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම වෙනුවට පැරණි ඒවා අලුත්වැඩියා කර භාවිතයට නැඹුරු වීම මෙම පසුබෑමට හේතු වී ඇත.
අවිනිශ්චිත වාතාවරණය මධ්‍යයේ වුවද, පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය ඇමරිකානු වෙළඳපොළ තුළ 5.79%ක සුළු වර්ධනයක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පෙන්වා දෙන්නේ මෙරට ඇඟලුම් සඳහා 36.8%ක සහ රබර් නිෂ්පාදන සඳහා 20.2%ක ඉහළ තීරුබදු අනුපාතයන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි.
ලෝක ආර්ථික සංසදය ඊයේ (19) නිකුත් කළ වාර්තාවකින් ද අවධාරණය කර ඇත්තේ, භූදේශපාලනික තත්ත්වයන් සහ තාක්ෂණික වෙනස්කම් හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයන් ඉදිරියේදී වඩාත් අස්ථාවර විය හැකි බවයි.
