ගල් අගුරු ඉන්දීය තත්ව පරීක්‍ෂණ වාර්තා පිලි නොගෙන තවත් පරීක්‍ෂණාගාරයකට..

 


ප්‍රමිතියෙන් තොර ගල්අඟුරුවලට දඩ අය කරන නිසා ආර්ථික අලාභයක් නොවන බවට කළ ප්‍රකාශය වැරදි බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටී.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ඊයේ මාධ්‍ය හමුවේ පළ කළ අදහස්වල වැරදි ගණනාවක් තිබෙනවා. මීට පෙර එම අදහස් විදුලිබල හා බලශක්ති ඇමැතිවරයාත් පවසා තිබෙනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වා මීට පෙර අවස්ථා ගණනාවක ප්‍රමිතියෙන් බාල ගල්අඟුරු ආනයනය කර, දඩ අයකර ඒවා භාරගත් බව. එය වැරදියි. මීට පෙර දඩ අයකර භාරගෙන ඇත්තේ 5900 – 6050 KCal/kg ප්‍රමිතියෙන් යුතු ගල්අඟුරු 6050 – 6200 KCal/kg ශක්තිය සහිත ගල්අඟුරු අමතර දඩ නැතිව භාර ගන්නවා. නමුත් 5900 KCal/kgවලට වඩා ප්‍රමිතිය අඩු ඒවා දඩ අයකර භාර ගන්නේ නෑ. එම අගයට කියන්නේ Reject value, ඒ කියන්නේ ප්‍රමිතිය ඊට අඩුනම් ප්‍රතික්ෂේප කරනවා. මීට පෙර Trafigura නම් ඉන්දුනීසියානු සමාගමක් එම ප්‍රමිතියෙන් බාල ගල්අඟුරු ආනයනය කර එම තොගය ප්‍රතික්ෂේප කර නැව හරවා යවා, එම සමාගමේ ඇණවුමක් අවලංගු කළා. ඒ නිසා ආණ්ඩුව කළ යුත්තේ දඩයක් ගසා බාල ගල්අඟුරු භාර ගැනීම නොව, එය ප්‍රතික්ෂේප කිරීම. ඒ වගේම ටෙන්ඩර් ගිවිසුමට අනුව නැව් දෙකක් තත්ත්වයෙන් බාල වුවහොත් ඇණවුම අවලංගු වෙනවා. ඒ නිසා Trident Chemphar නම් මේ ඉන්දියානු සමාගම තවත් ආරක්ෂා නොකර ගිවිසුම ක්‍රියාවේ නැංවිය යුතුයි.

ප්‍රමිතියෙන් බාල ගල්අඟුරුවලට දඩ අය කරන නිසා ආර්ථික අලාභයක් නොවන බවට කළ ප්‍රකාශයත් වැරදියි. දඩය අය කරන්නේ ටෙන්ඩර් ගිවිසුම කැඩීම නිසා. නමුත් මේ ගල්අඟුරු තොගයේ එක කිලෝග්‍රෑමයක ශක්තිය අඩු නිසා විදුලි ජනනය සිදුවන්නේ අඩුවෙන්. නොරොච්චෝලේ ලක්විජය බලාගාරය 810MW නිෂ්පාදනය වෙනුවට පසුගිය 21 වැනිදා තුන්වන නැවේ ගල්අඟුරුවලින් නිෂ්පාදනය කර ඇත්තේ 715MW පමණයි. පැයට 100MW ආසන්නයේ පවතින මෙම හිඟය සූර්ය විදුලිය නැති රාත්‍රී කාලයේ පියවා ගන්න වෙන්නේ ඩීසල්වලින්. ඩීසල් බලාගාරයක එක විදුලි ඒකකයක් සඳහා පිරිවැය ගල්අඟුරු බලාගාරයකට වඩා සිව් ගුණයකින් පමණ වැඩියි. එය පැටවෙන්නේ විදුලි පාරිභෝගිකයා මත. ඒ වගේම මෙම ගල්අඟුරු තොගයේ අළු ප්‍රතිශතය වැඩි නිසා බලාගාරයේ යන්ත්‍රවලට හානි වෙන්නත් පුළුවන්. එහි පිරිවැයත් අන්තිමට එකතු වෙන්නේ විදුලි බිලට. ඒ නිසා දඩ කන්නේ මේ සමාගම හෝ ඇමැතිවරයා නෙවෙයි. විදුලි පාරිභෝගිකයන්.

දඩය පවා අයකර ගැනීම සැක සහිතයි. අදාළ ඉන්දියානු සමාගම නිකුත් කර ඇති රසායනාගාර වාර්තා පිළිනොගෙන තෙවැනි පාර්ශ්වයක් වෙත Umpire Sample එකක් යවන්න උත්සාහ කරනවා. ඒ යවන සාම්පලය ඔවුන්ගේ නැවේ ගල්අඟුරු සාම්පලයක් නොවී, නොරොච්චෝලේ තිබෙන ප්‍රමිතිසහගත ගල්අඟුරු තොගයේ සාම්පලයක් වුණොත් ප්‍රතිඵලය එන්නේ ප්‍රමිති ප්‍රශ්නයක් නෑ කියලා. අන්තිමට අපට ගල්අඟුරුවල ශක්තියත් නෑ, දඩ මුදලත් නෑ, මහදැනමුත්තා එළුවගේ බෙල්ලත් කපලා, මුට්ටියත් බින්දා වගේ වැඩක් වෙන්නේ. ඒ නිසා ඒ සාම්පලය තෝරා ගැනීමේ ක්‍රියාවලිය සියලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් පාරදෘශ්‍ය ලෙස කරන්න කියා අප ඉල්ලා සිටිනවා. මේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව විමර්ශනයක් අවශ්‍යයි.

චමින්ද සිල්වා

2 Comments

  1. සිල්ලර කඩයක්වත් කරලා නැති වාචාල කටවල් විතරක් තියෙන මොළේ කලඳක් වත් නැති ජෙප්පන්ට රට බාර දුන්න 68 ලක්ෂෙ ගොබ්බන්ට දැන්වත් තේරෙනවද දන්නෑ ඡන්දෙ දීලා කරගත්තු මෝඩකම.

    ReplyDelete
  2. පුබුදු ,මහදනමුතත ගොලයො එහෙම කලේ මෝඩ කමට මුන් කරන්නේ කපටි කමට

    අලිබබය් හොරුත් එහෙමෙ කලේ හොර කමට

    ReplyDelete
Previous Post Next Post