කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම සඳහා Blue Ocean Securities Ltd. නමින් පෙනී සිටින ආයතනය හෝ එහි BOMate නමැති ජංගම දුරකථන යෙදුම භාවිතා නොකරන ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මහජනතාවට දැඩි ලෙස අවධාරණය කර සිටියි.
මෙම ආයතනය කොටස් වෙළෙඳපොළ අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙතින් බලපත්‍රයක් ලබාගෙන නොමැති බව එම සභාව නිවේදනය කරයි.
තමන් ප්‍රධාන විශ්ලේෂක ලෙස හඳුන්වා ගන්නා රොහාන් ඩයස් සහ ඔහුගේ සහායිකාව ලෙස පෙනී සිටින නටාෂා පෙරේරා යන පුද්ගලයින් දෙදෙනාද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍රලාභීන් නොවන බව තහවුරු වී ඇත.
දැනට පවතින තොරතුරු අනුව වෙනත් පුද්ගලයන් දෙදෙනෙකු මෙම නම් භාවිතා කරමින් ව්‍යාජ ලෙස පෙනී සිටින බවට හඳුනාගෙන තිබේ.
මෙම අනවසර ආයතනයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මීට අමතරව, කොළඹ කොටස් වෙළෙඳපොළ මගින්ද මේ පිළිබඳව වෙනම පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, මෙම ආයතනයට සම්බන්ධ සියලුම බැංකු ගිණුම් විස්තර සහ ලැබී ඇති පැමිණිලි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් විමර්ශකයන් වෙත ලබා දී ඇත.
මෙම ආයතනය හෝ පුද්ගලයන් විසින් ලබා දෙන කිසිදු බැංකු ගිණුමකට මුදල් තැන්පත් නොකරන ලෙසත්, ආයෝජන කටයුතු වලදී අතිශයින්ම ප්‍රවේශම් වන ලෙසත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
