උතුරේ ජනතාව කැබිලිත්ත වන්දනාවේ එන්නේ වෛරයෙන්ද..

 


මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඕනෑම ප්‍රදේශයක ආගමික වතාවත්වල නිරත වීමට ජනතාවට අයිතියක් ඇති බවත්, බෞද්ධ ජනතාව දිවයින පුරා විහිදී ඇති ආගමික සිද්ධස්ථාන වන්දනාමාන කරන්නේ වෛරය මුල් කරගෙන නොව අතිමහත් භක්තියකින් යුතුව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

පසුගියදා ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර වෙනත් ස්ථාන වන්දනාමාන කිරීම වෛරය ප්‍රමුඛ කරගත් ක්‍රියාවලියක් ලෙස හැඳින්වීම වැරදි සහගත බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථානයක් ලබා දී ඇති බවත්, එය ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම රජයේ වගකීමක් වන අතරම සෙසු ආගම්වලට ද නියමිත ආරක්ෂාව හා රැකවරණය ලබා දී ඇති බවත් ඔහු සිහිපත් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ සොළොස්මස්ථාන ඇතුළු මෙරට විවිධ ප්‍රදේශවල ඇති සිද්ධස්ථාන වන්දනා කිරීමට බෞද්ධ ජනතාව මෙන්ම හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි භක්තිකයන් ද සහභාගී වන බවයි. උතුරේ ජනතාව කැබිලිත්ත වැනි සිද්ධස්ථාන කරා පැමිණෙන බවත්, එවැනි ආගමික සහෝදරත්වය හා සංහිඳියාව තුළින් සැබෑ ඒකීය ශ්‍රී ලංකාවක් නිර්මාණය වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

"අන්තවාදයට අපේ රටේ තැනක් නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාවයි අප අනුගමනය කළ යුත්තේ," යැයි පැවසූ විපක්ෂ නායකවරයා, ආගමික කටයුතු වෛරය මුදුන්පත් කරගෙන සිදුකරන බවට කරන ප්‍රකාශ තුළින් අන්තවාදී කණ්ඩායම් දිරිමත් වන බවට අනතුරු ඇඟවීය.

ජාති, ආගම් හෝ කුල භේදය කේන්ද්‍ර කරගනිමින් සමාජ වෛරයක් නිර්මාණය කර දේශපාලනය තුළ රැඳී සිටීමට උත්සාහ කිරීම මිත්‍යාවක් බවත්, ජාතික ආරක්ෂාව තහවුරු වන්නේ බෙදීම් ඇති කිරීමෙන් නොව සියලු දෙනා අතර සංහිඳියාව ඇති කිරීමෙන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

'නහී වේරේන වේරානී' යන බුදු වදන සිහිපත් කරමින්, වෛරය ඉවත් කර සහෝදරත්වය හා එකමුතුභාවය තුළින් මාතෘභූමිය ගොඩනැගීමට එක්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය

3 Comments

  1. NPP hypocrites (Kuhakayo) never understand your words .......... they're just humbugs ..

    ReplyDelete
  2. Sajith bro

    Don’t believe news

    Watch whole video of anura then give a comment

    ReplyDelete
  3. https://youtube.com/@jaffnakollo?si=26uCFwfTfsKAU6ed

    ReplyDelete
Previous Post Next Post