ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) උතුරු පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කළ කළමනාකරණ සහකාරවරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.
අදාළ නිලධාරියා විසින් Facebook සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ජනාධිපතිතුමාට සහ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියකට අපහාස වන අන්දමේ සටහන් පළ කර ඇති බවට චෝදනා ඒල්ල කරමින් මෙම පියවර ගෙන ඇත..
ආයතන සංග්‍රහයේ XLVIII වැනි පරිච්ඡේදයේ 31.1 වගන්තිය ප්‍රකාරව මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී මූලික විමර්ශනයක් පවත්වනු ලැබේ.
නිලධාරියා සතු කාර්යාංශයට අයත් සියලුම ලේඛන, බඩුබාහිරාදිය සහ නිල හැඳුනුම්පත වහාම උතුරු පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වෙත භාර දිය යුතුය.
වැඩ තහනම් කර ඇති කාලසීමාව තුළ අදාළ නිලධාරියාට කිසිදු වැටුපක් හෝ දීමනාවක් ගෙවනු නොලැබෙන අතර වැඩ තහනම් කර ඇති කාලය තුළ සභාපතිවරයාගේ පූර්ව අනුමැතියකින් තොරව කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයට හෝ කිසිදු ප්‍රාදේශීය කාර්යාලයකට ඇතුළු වීම තහනම් කර ඇත.
මීට අමතරව, අදාළ නිලධාරියා සිය ස්ථිර ලිපිනය වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව පරිපාලන අංශය දැනුවත් කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් වේ
