පසුගිය රජයන් මෙන්ම වත්මන් රජය ද සිය ගෞරවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු කිරීමට මහජන මුදල් බිලියන ගණනින් පොම්ප කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ වෙන් කළ රුපියල් මිලියන 20,000ක (බිලියන 20) මුදලට අමතරව, මේ වසරේදී තවත් රුපියල් මිලියන 25,000ක මුදලක් මෙම සමාගම වෙනුවෙන් වැය කිරීමට රජය සූදානම් වන බවයි.
අංක PB 67 දරන අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවට අනුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රුපියල් 100 බැගින් වූ කොටස් බිලියන 25.2ක් නිකුත් කිරීමට යෝජනා වී ඇති බවත්, එම කොටස් රජය විසින් මිලදී ගත යුතු බවට යෝජනා වී ඇති බවත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය. මේ අනුව වසර දෙකක් තුළ රුපියල් මිලියන 45,000ක දැවැන්ත මහජන මුදලක් මෙම ආයතනය වෙනුවෙන් වැය කිරීමට සිදුවන බව ඔහු පෙන්වා දෙයි.
"මේ ආණ්ඩුව බලයට පත්වුණේ 'සිස්ටම් චේන්ජ්' එකක් ගැන කතා කරමින්. නමුත් අද සිදුවන්නේ අර පරණ වැරදි ක්‍රියාමාර්ගම අනුගමනය කිරීමයි" යනුවෙන් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මුදල් වෙන් කිරීම පිළිබඳ කිසිදු සඳහනක් නොවූ බවත්, දැන් මෙම මුදල් ලබා ගැනීමට නම් නැවතත් දැවැන්ත පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ඒමට රජයට සිදුවන බවත් ඔහු අවධාරණය කළේය.
ගුවන් යානයක පවා ගොස් නොමැති සාමාන්‍ය ජනතාවට ද මෙම කොටස් නිකුතුව නිසා එක් අයෙකුට රුපියල් 10කට වඩා වැඩි බරක් දැරීමට සිදුවන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
රජය මෙම මුදල් යොදවා ශ්‍රී ලංකන් සමාගමේ පාඩු පියවීමට උත්සාහ කරන්නේ එහි ඇති ලාභ ලබන අංශ වන 'කේටරින්' (Catering) සහ 'ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්' (Ground Handling) යන අංශ පෞද්ගලික සමාගම් කිහිපයකට විකුණා දැමීමේ අරමුණින් දැයි තමන්ට සැකයක් පවතින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය,.
දැනට පාඩු ලබන බැවින් කිසිවෙකුත් මෙම සමාගම මිලදී ගැනීමට ඉදිරිපත් නොවන නමුත්, මහජන මුදලින් පාඩු පියවා ලාභ ලබන තත්ත්වයට පත් කළ පසු එය පෞද්ගලික අංශයට පැවරීම භයානක තත්ත්වයක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. එම නිසා වහාම මෙම ක්‍රියාවලිය නතර කර රටේ මුදල් විනාශ කිරීම වැළැක්වීමට කටයුතු කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය
