බටහිර ආසියානු කලාපය තුළ පවතින උණුසුම්කාරී දේශපාලන තත්ත්වය මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමටත් ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමටත් දෙරටේ විදේශ අමාත්‍යවරුන් එකඟතාවයකට පැමිණ ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) මහතා අතර පසුගියදා පැවැති දුරකථන සංවාදයකදී මේ පිළිබඳව සාකච්ඡා වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් පනවා ඇති සම්බාධක හමුවේ, ශ්‍රී ලංකාව ඉරානය වෙත සිදුකරන අපනයන නවතා දැමීමට සූදානම් වන බවට පැතිර යන වාර්තා පිළිබඳව කළ විමසීමකදී අමාත්‍ය හේරත් මහතා අවධාරණය කර ඇත්තේ එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
ඉරානයට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධකවලට පෙර මෙරටට ලබාගත් බොරතෙල් වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදල පියවීම සඳහා ක්‍රියාත්මක 'තේ වෙනුවට තෙල්' හුවමාරු ගිවිසුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී සහතික වී ඇතැයි වාර්තාව කියයි.
2023 අගෝස්තු මස සිට මේ දක්වා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක වටිනාකමකින් යුත් තේ ඉරානයට අපනයනය කෙරේ.
අදාළ ගෙවීම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය හරහා දේශීය තේ අපනයනකරුවන් වෙත සිදුකරනු ලබයි.
මෙම සාකච්ඡාවේදී ඉරානයේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අරග්චි මහතා පවසා ඇත්තේ ඉරාන ආර්ථිකය මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි. එසේම, ඕමානයේ මැදිහත් වීමෙන් ඇමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡා හේතුවෙන් දෙරට අතර සබඳතා යහපත් වනු ඇති බවට ද ඔවුහු බලාපොරොත්තු පළ කළහ.
ශ්‍රී ලංකාව සැමවිටම ඉරානය සමඟ සුහදශීලීව කටයුතු කරන බවත්, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉරානය ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක්වූ අඛණ්ඩ සහයෝගය අගය කරන බවත් විජිත හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම දුරකථන සංවාදය සිදුව ඇත්තේ ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල් සඳහා අමතර තීරුබදු පැනවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විධායක නියෝගයකට අත්සන් තැබීමට පෙරය. එම නියෝගයට අනුව, ඉරානයෙන් සෘජුව හෝ වක්‍රව භාණ්ඩ හා සේවා මිලදී ගන්නා ඕනෑම රටකින් ඇමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 25% ක පමණ තීරුබද්දක් පැනවීමේ අවදානමක් පවතී.
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින මෙම සුවිශේෂී වෙළෙඳ ගිවිසුම් ජාත්‍යන්තර මූල්‍ය රීතීන්ට අනුකූලව පවත්වාගෙන යාමට රජය අපේක්ෂා කරයි.
.jpeg)